සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහ මහතාට 94වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නිල ආරාධනාව ලබා දීම 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් පසුගිය 6 වැනිදා සිදුකරන ලදී.
එම අවස්ථාවට 94 වැනි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන්වන් වන එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ උපාලි ධර්මදාස මහත්වරුන් සහභාගී වුහ.
1931 වසරේ ජනවාරි මස 19 වැනිදා බදුල්ලේදී උපත ලද ස්ටැන්ලි ජයසිංහ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය.
1949 වර්ෂයේදී සුලෝහිත සංග්‍රාමයට සහභාගී වූ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ස්ටැන්ලි ජයසිංහ මහතා 1951 වර්ෂයේදී නාලන්දා කණ්ඩායමේ නායකත්වය දරා ඇත.
නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් සිටියදීම, 18 වැනි වියේදී ජාතික කණ්ඩායම (එවකට ඕල් සිලෝන් කණ්ඩායම) නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ එංගලන්තයේ ‘පළමු පෙළ’ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වෙයි.
එමෙන්ම බෞද්ධ පාසලක ශිෂ්‍යයෙකු වශයෙන් ඕල් සිලෝන් කණ්ඩායම නියෝජනය කළ පළමුවැන්නා වන ස්ටැන්ලි ජයසිංහ මහතා එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගි වූයේ ලෙස්ටෂයර් කණ්ඩායම නියෝජනය කළ පළමු ආසියාතිකයා බවටද පත් වෙමිනි.
සිය ක්‍රීඩා දිවිය තුළ පළමු පෙළ තරග 144කට ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ මහතා ලකුණු 6811ක් ලබාගත්තේ ශතක 10 ක් වාර්තා කරමින්ය.
එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසුව මෙරටට පැමිණි ජයසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු (1991 දී) වූ ස්ටැන්ලි ජයසිංහ මහතාගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුවූ මෙහෙවර අතිමහත්ය.