ක්‍රීඩා

IPL ක්‍රීඩකයන් දෙදෙනෙකුට දඩ

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය අතරතුර කැමරා කාචයේ සටහන් වූ ආරවුලක් හේතුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට හා කණ්ඩායම් උපදේශකයෙකුට දඩ නියම කර තිබේ.

මේ හේතුවෙන් සඳුදා පැවති IPL තරඟයේදී කෝලි සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර්ට ඔවුන්ගේ සම්පූර්ණ තරග ගාස්තුව දඩ මුදලක් ලෙස නියම විය.

තවද, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇෆ්ගන් ජාතික පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට ද ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක් දඩයක් ලෙස නියම කර ඇත.

මෙම ආරවුල හටගෙන තිබුණේ කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල විසින් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පරාජය කිරීමෙන් අනතුරුවයි.

බහින්බස් වීමේ දසුන් කැමරාවල සටහන් වුවද, එහි හඬ කිසිවක් සටහන් වී නොතිබුණු බැවින් එම සිද්ධිය කුමක් සම්බන්ධයෙන් සිදුවූවක් ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම අපහසු වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩකයෙක් නිල වශයෙන් අදහස් දක්වාද නොමැත.

IPL විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, IPL ආචාරධර්ම සංග්‍රහයට ඇතුළත්, ප්‍රසිද්ධියේ නොමනා හැසිරීම් ඇතුළු ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කරන 2.21 වන වගන්තිය යටතේ දෙවැනි මට්ටමේ වරදක් සිදුකළ බවට කෝලි සහ ගාම්භීර් දෙදෙනාම පිළිගෙන ඇති බවයි.

තවද තමා පළමු මට්ටමේ වරදක් කළ බවට නවීන් ද පිළිගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version