Connect with us

පුවත්

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට  IMF අඛණ්ඩ සහාය

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ  අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ  තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය.

ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින්  ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත්  සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසට පැවසීය.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබාදෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ආයෝජකයන්ගේ  විශ්වාසය තහවුරු කිරීම,  ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසීය.

වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා  යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා  ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.

එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී  රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම උත්සාහයන් තිරසාර බවට පත්  කිරීමේ සහ පුළුල්  කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු  යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved