ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (09) ආරම්භ වී තිබේ.
ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39ක ඡන්දදායකයන් අද සිය ඡන්දය භාවිත කරනු ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ, පෙරවරු 11 වන විට, මිලියන 8.1 ක ජනතාවක්, එනම් ඡන්දදායකයින්ගෙන් 18% කට වඩා වැඩි පිරිසක්, රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී ඡන්දය ප්‍රකාශ කර තිබූ බවය.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය පසුගිය අප්‍රේල් 04 වනදා තීන්දු කළේය.
ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි පත් කෙරුණි.
රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදා ය.
ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.
ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.
එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළේය.
තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසිනි.
එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබේ.