ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන ලදී.
ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් මේ වනවිට රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරර්යි.
පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (26) සිදුකිරීමට නියමිතව පවතී.
ඒ ඊයේ රැස්වූ කාදිනල් මඬුල්ල ගත් තීන්දුවකට අනුවය.
උන්වහන්සේගේ අවමංගල කටයුතු සිදුකරන සැලැස්ම ද මෙහිදී අනාවරණ කෙරුණි.
ලබන සෙනසුරාදා දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරෙන දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්‍රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.
නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන් වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රැගෙන යන්නේ රිය පෙරහරකිනි
මෙම අවස්ථාවේදීත් මාර්ගය දෙපස රැස්වී පාප් වහන්සේ වෙත සිය ගෞරවය දැක්වීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබේ.
මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල උත්සවය සඳහා ලෝක නායකයින් රැසක් සහභාගි වන බවට මේ වනවිට තහවුරු කර ඇත.
ඒ අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුද අයත්ය.