Connect with us

පුවත්

ණය ප්‍රශස්තකරණය ගැන ඇත්ත ජනතාවට පැහැදිලි කරන්නැයි ජනපති ඉල්ලයි

Published

on

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡා දෙකකට එක් වෙමිනි.

පළමුව වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවකට එක් වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති  බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි.

එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.

සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන 9%ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බවත්, එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

බැංකු තැන්පතුවලට බලපෑම් එල්ල වන බව පවසමින් සිදුකළ ප්‍රචාරයන් නිසා සමාජය තුළ යම් කණස්සල්ලක් පැවතුණා. නමුත් අපගේ සාකච්ඡාවලදී  අප අවධානයට ලක්කළ ප්‍රමුඛතම කාර්යක් තමයි බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම. දෙවැන්න සියලුම බැංකු තැන්පතු ආරක්ෂා කිරීම. බැංකු පද්ධතිය සම්බන්ධයෙන් ඇති කරන අනිසි බිය විශ්‍රාමික අරමුදල්වලට සාපේක්ෂව විශාල සමාජීය බලපෑමක් ඇති කළ හැකියි. එබැවින් ඉතා සාධාරණ විසඳුමක් අප ඉදිරිපත් කර තිබෙනවා.

බැංකු විසින් දැනටමත් 50%ක් බදු ලෙස ගෙවමින් සහ ණය සහන ලබාදෙමින් මහා භාණ්ඩාගාරයට මෙන්ම පොදුවේ සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බැංකු පද්ධතිය හෝ තැන්පතු ලබා ගන්නා ආයතන සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැහැර කිරීමට අප කටයුතු කළා. භාණ්ඩාගාර බිල්පත්වලට ද කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. සිදු වන්නේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඒ වගේම විශ්‍රාම අරමුදල් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දී තිබෙනවා.

එහිදී සෑම වසරකම ඒවායේ ප්‍රතිලාභීන්ට 9%ක පොලියක් ලබාදීම  සහතික කරනවා. වත්මන් ශේෂය ආරක්ෂා වන අතර ශේෂයේ අඩුකිරීමක් ද සිදුවන්නේ නැහැ. තවද එම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර නව බැඳුම්කර සඳහා හුවමාරු වනු ඇතියි. එය ලබන අඟහරුවාදා උදෑසන පළමු වැඩ කරන දිනයේ දියත් කෙරෙනවා. ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකරන අතර එතැන් සිට එය කඩඉම් දිනය වනු ඇතියි.

ඊ පී එෆ්, ඊ ටී එෆ් (EPF, ETF)  ඇතුළුව සියලුම විශ්‍රාම අරමුදල් (superannuation) සතු ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කරනු ලබනවා. පුද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගත කරනවා. බැංකු ක්ෂේත්‍රය බදු වශයෙන් 50% ක් මහා භාණ්ඩාගාරයට ගෙවන විට ඊට සාපේක්ෂව විශ්‍රාම අරමුදල් මගින් බදු ගෙවීම සිදු කරන්නේ 14%ක් පමණයි. එසේ වුවත්, ඔවුන් මෙම බැඳුම්කර හුවමාරුවට සහභාගී වුවහොත් එම 14% අඛණ්ඩව භුක්ති විඳීමට අවස්ථාව හිමි වෙනවා.  එසේ නොමැති නම්, ඔවුන්ට ඉහළ බදු අනුපාත සඳහා යාමට විකල්පයක් තිබෙනවා. එසේ වුවහොත් ඔවුන්ට එය අවාසිදායකයි.

එබැවින් ඔවුන්ගේ තේරීම කුමක් දැයි තීරණය කිරීම විශ්‍රාම (superannuation) අරමුදල් වෙත පැවරෙනවා. එම තේරීම අප වෙත දන්වනු  ඇතැයි අප අපේක්ෂා කරන අතර ජූලි මාසය තුළ බැඳුම්කර හුවමාරුව අවසන් කරනවා. එවිට ඔවුන්ගේ ද්‍රවශීලතාවයෙන් රජයට ලොකු සහනයක් ලැබෙනවා. තවද ප්‍රධාන මෙවලම වන්නේ බැඳුම්කර හුවමාරුවේදී වසර පහක සහන කාලයක් පැවතීම සහ එම කාලය තුළ විනිමය බැඳුම්කර සඳහා පමණක් පොලී ගෙවනු ලැබීමයි. එහි කල්පිරීම  2032 සිට 2038 දක්වා ආරම්භ වෙනවා. ඉන්පසු ක්‍රමානුකූලව, වාර්ෂික පදනම මත කල්පිරීම සිදු වනු ඇතියි.

මහ බැංකුව වශයෙන් අපගේ මැදිහත්වීම සහ උනන්දුව වන්නේ එක් පැත්තකින් මූල්‍ය ස්ථාවරත්වය, බැංකු පද්ධතිය සහ තැන්පතු ආරක්ෂා කිරීමටයි. අනෙක් පැත්තෙන්, සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු, ලෙස අපට අවශ්‍ය වූයේ ඊ පී එෆ් (EPF) සාමාජිකයන් සහ විශ්‍රාමික අරමුදල් සඳහා හොඳම, ප්‍රශස්ත ගනුදෙනුව ලබා ගැනීමයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු සෙනසුරාදා එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ  සභාපති බිංගුමාල් තේවරතන්ති මහතා

දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා බැංකු ඇතුළත් නොකිරීම පිළිබඳව අප සංගමය සතුටට පත් වෙනවා. එය දෙස බලන විට වැටහෙන්නේ මෙම තිබෙන  යෝජනාව සමඟ අපට දළ මූල්‍ය අවශ්‍යතා  (GFN)  ඉලක්ක කරා ළඟා විය හැකි බවයි. එය තීරණාත්මක සාධකයක්.

තවද මෙය මුදල් පිටතට ගලා යාමේ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් විශාල සහනයක් වෙනවා. මම දකින විදිය අනුව ආදායම් පැත්තෙන් සහ වියදම් පැත්තෙන් ගත්තත්, දේශීය ණය සඳහා පොලී ගෙවීම සම්බන්ධයෙන් රජය තවමත් දැඩි සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා.

ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සම්බන්ධ කාරණයේදී රජයට තවත් තීරණාත්මක පියවර වෙත යොමුවීමට සිදු වෙනවා. විශේෂයෙන් බදු ලිපිගොනු ප්‍රමාණය වැඩි කිරීමට සිදු වෙනවා. දැනට තියෙන බදු පදනම සමඟ අපේක්ෂිත ඉලක්කවලට යාමට හැකි වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි  මහතා

පුද්ගලික අංශයේ මෙන්ම ලංකා වාණිජ මණ්ඩලය පැත්තෙන්, මම හිතන්නේ මෙම ගෙන ඇති පියවර බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සදහා ගෙන ඇති සුදුසුම පියවර කියලයි. එසේ නොවුණා නම් මෙම අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ බැංකු පද්ධතියත් අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වෙනවා.

මෙතැන් සිට බැංකු මගින්  පුද්ගලික අංශයට ලාභදායී අරමුදල් ලබා දීමට අවකාශ ඇතිවෙයි කියා මම විශ්වාස කරනවා. මෙතෙක් කල් එය සිදුව නැහැ. නමුත් අපි මින් ඉදිරියට එය සිදුවනු ඇති බව බලාපොරොත්තු වෙනවා. එසේ වුවහොත්ආයෝජන අඛණ්ඩව කරගෙන යා හැකියි. මම හිතන්නේ පසුගිය මාස 18 සිට 24 දක්වා කාලය තුළ සියල්ල ඇණහිට තිබෙනවා. එබැවින් ආර්ථිකය ඉදිරියට යාමට නම් පෞද්ගලික අංශයට  වඩා ලාභදායී අරමුදල් අවශ්‍ය වෙනවා.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ශරාඩ් අමලීන් මහතා

රට තුළ තිබූ තත්ත්වය පාලනය කිරීමට හැකි වීම පිළිබඳ  මම රජයට සුබ පතනවා. එය සැබැවින්ම විශාල සහනයක්.  මෙම ශාලාවට ඇතුළු වන අවස්ථාවේ   ඔබතුමා දකින්න ඇති සියළු දෙනාගේම මූණුවල තිබූ හිනාව. ඒ වගේම අප ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රජය ගෙන ඇති මෙම පියවරවලට අප සහාය වන්නේ කෙසේද යන්නයි.

ලංකා වාණිජ මණ්ඩලයේ  මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී, බුවනෙකබාහු පෙරේරා

මූලික වශයෙන් අප දැනට සිදු කරන පොලී ගෙවීම්වල ප්‍රාග්ධනය සඳහා යම් සහනයක් ලබා දීම නිසැකවම ආයෝජනය ප්‍රවර්ධනයට වගේම පෞද්ගලික අංශයේ අඛණ්ඩ පැවැත්මට පිටිවහලක් බව කිවයුතුයි. මන්ද මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල පෞද්ගලික ව්‍යාපාර වසා දමා වෙනත් වෙනත් වෙළෙඳපොල වෙත අවධානය යොමු කරමින් සිටිනවා. නමුත් අප ඒවා මෙරටේම තබා ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි. ඒ මොකද මෙම ඇතැම් සමාගම් වසර තිහක් හතළියක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වූ නිසා. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුයි.

ඉදිරි මාස කිහිපය තුළ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම මූලික වශයෙන් කළ යුතුයි. අඩුම තරමින් පුද්ගලික අංශයට ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ආකාරයකට තම ව්‍යාපාරය දැරිය හැකි මිලකට කරගෙන යාමට යම් සහනයක් ලබා දිය යුතුයි.

වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් ද මෙහිදී  අදහස් දැක්වූ අතර මෙරට වැඩකරන ජනතාව ආරක්ෂා කරමින් ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔව්හු සිය ප්‍රසාදය පළ කළහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය ආමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ,  වඩිවෙල් සුරේශ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved