පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පවසා තිබේ.
මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.33 )
තුසිත හල්ලොලුව අද CIDයට
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකට එම ප්‍රකාශය සිදු කළ තුසිත හල්ලොලුව මහතාව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කලේය.
උදෑසන 10.00 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (06) නිවේදනය කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, එකී ප්‍රකාශයෙන් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්ති ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇත.
තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව ද එම පැමිණිල්ලෙහි සඳහන්ය.
තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යනුකූල පියවර ගන්නා මෙන් ද මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.
සබැඳි පුවත්