Connect with us

පුවත්

කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි හොයන්න කමිටුවක්

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි මෝෂමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග හා විකලාංග රෝග, පෙනහලු රෝග, සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ලබන 26 වැනිදා වනවිට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, පසුගිය 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල නොමැතිව නඩුව විමසීය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියේය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ප්‍රතිකාර කළ සිංගප්පුරූ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු නිකුත් කළ වෛද්‍ය නිර්දේශවල ඡායාස්ථ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලෙන් හෝ ජාතික රෝහලෙන් ප්‍රතිකාර කිරීමට හැකියාව ඇද්ද? පසුගිය පෙබරවාරි 03 වැනිදා සිට 14 වැනිදා දක්වා ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරමේ රෝගී තත්ත්වයකින් පසු වුණේද? යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක හේතු දක්වන ලෙස විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියම කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ජාතික රෝහලෙන් ප්‍රතිකාර දීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට යම් බාධාවක් තිබුණේද? යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයෙන් හේතූ විමසන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හමුවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කැඳවා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබු බාධාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට නියම කරන්නැයි අධිකරණයන් ඉල්ලීමක්ද කළාය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

(ලංකාදීප)

ක්‍රීඩා

සචිත්‍රට අධි චෝදනා

Published

on

By

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

පුවත්

සමෘද්ධි බැංකු විගණනයට නව පනත් කෙටුම්පතක්

Published

on

By

සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතට අනුව සමෘද්ධි ප්‍රජාමුල බැංකුවල ගිණුම් ජාතික විගණන පනතේ විධිවිධාන යටතේ විගණනය කිරීම සඳහා යෝජනා කර තිබේ.

ඊට අමතරව සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා ද අදාළ පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව සමෘද්ධි සංශෝධන පනත ලෙස නම් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved