Connect with us

පුවත්

අනීතික ජාතික සම්මාන හා ගෞරව නාම ගැන තීන්දුවක්

Published

on

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී  ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.

මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළයුතු අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයතු බවද අවධාරණය කරයි.

1986 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් අංක 387/3 හා 1986.02.03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇත. ඉන්පසුව, අංක 627/8 හා 1990-09-12 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රය, අංක 863/4 හා 1995-03-20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය සහ අංක 1535/12 හා 2008-02-08 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් ජාතික සම්මාන පිරිනැමීමේ පටිපාටිය සංශෝධනය කර තිබේ.

තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023-02-18 දිනැතිව ඉදිරිපත් කරන ලද අංක PS/NC/ACD/95/2023 දරන අමාත්‍ය මණ්ඩල සටහන මඟින් “විශිෂ්ට කෞශල්‍යාභිමානී” හා “විශිෂ්ට ජනරජ අභිමානී” යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා ලබා ගැනීම සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවිම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයාගේ එකඟතාවය අනුව ජනාධිපති ලේකම් විසින් පත්කරනු ලබන විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් මඟින් සම්මානලාභීන් තේරාගැනීම සිදු කරනු ලබයි.

තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාමයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන අතර, පසුව නියම කර ගන්නා ලද දිනයකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය කරනු ලැබේ.
නිදහස් අනුස්මරණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදානයට සුදුසු දිනයන් ජනාධිපතිවරයාට තීරණය කළ හැකි අතර ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා ජාතික සම්මාන ප්‍රදානය ද සිදු කෙරේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved