Connect with us

පුවත්

ආසියානු සංවර්ධන බැංකුවේ අඩපණ වූ ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක ණය සහන 

Published

on

අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

සංරචක දෙකකින් යුතු එකී ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 2000ක් යෙදවීමට නියමිත අතර, ඉන් රුපියල් කෝටි 1500ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසායන් ශක්තිමත් කිරීමටත්, ඉතිරි රුපියල් කෝටි 500ක මුදල අක්‍රිය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායන්ට සහාය වීමටත් යොදවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

විශාල සංචිත ප්‍රමාණයක් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇතැම් ව්‍යාපාර වසා දමන්නත් ඇතැම් ව්‍යාපාරවල කොටස් වසා දමන්නත් සිදු වීමෙන් ව්‍යාපාර රාශියක් අඩපණ වුණ බවත් මේ තත්ත්වය පිළිබඳව මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සංවිධානවලට කරුණු දැක්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව එම ණය පහසුකම් ලබා දීමට එකඟවී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟලුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී තිබෙනවා. ඒ සඳහා සහනයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධන සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. යෝජිත වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත යටතේ ලබා දීමට අපේක්ෂා කරනු ලබනවා.

කොවඩ් 19 වසංගතය නිසා රට සම්පූර්ණයෙන් වසා දැමීමත් ඒ හා සමඟ ඇති වෙච්ච දැවැන්ත ආර්ථික අර්බුදයත් නිසා 2022 වසරේ දී රටේ ආර්ථිකය සෘණ 08 දක්වා ආපසු හැකිළීම සිදුවුණා. ඒ අවස්ථාවේ ඇති වුණු ඉල්ලුම් සංකෝචනයත් පිරිවැයෙන් හැදුණු විශාල උද්ධමනයත් හේතුකොට ගෙන සමහර ව්‍යාපාර ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්වුණා. විශාල සංචිත ප්‍රමාණයක් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇතැම් ව්‍යාපාර වසා දමන්නත් ඇතැම් ව්‍යාපාරවල කොටස් වසා දමන්නත් සිදු වීමෙන් ව්‍යාපාර රාශියක් අඩපණ වුණා. මේ තත්ත්වය පිළිබඳව මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සංවිධානවලට කරුණු දැක්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබෙනවා කෝටි 2000ක ණය මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ඒ අඩපණ වුණ ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා ලබා දෙන්න. දැනට අකර්මණ්‍යව පවතින ප්‍රශ්නවලට මුහුණදී තිබෙන මූල්‍ය දුෂ්කරතා ඇති වෙලා තිබෙන පවත්වාගෙන යා නොහැකි ව්‍යාපාර ආරම්භ කරන්නත් එදිනෙදා ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ දි අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඉෂ්ට කර දීම සඳහා වාණිජ බැංකු හා බලපත්‍රලාභී බැංකු වෙතින් ණය මුදලක් ලැබෙනවා සහන පොලී අනුපාතය යටතේ. බැංකුවලට එම ණය ලබා දීම සඳහා රුපියල් කෝටි 2000කට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

(දිනමිණ)

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved