Connect with us

පුවත්

හරක් කටා අප්‍රේල් 26 දක්වා රිමාන්ඩ්

Published

on

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (11) නියෝග කළේය.

මෙම සිද්ධියේ දෙවන විත්තිකරු වශයෙන් නම්කර මේ වනවිට අධිකරණය මඟ හැර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන රවිදු සංදීප නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කරන ලදී.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඉන් අනතුරුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් හරක් කටා නැමැති විත්තිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී එහි සිටි නිලධාරීන්ට පහරදී පලායාමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 22 ක් යටතේ මෙම නඩුව නීතපතිවරයා විසින් ගොනු කර තිබෙන බව සඳහන් කළේය. මෙම පලායාමේ ප්‍රයත්නය ව්‍යාර්ථ වීමෙන් පසුව වෙනත් පුද්ගලයින් හා අවි ආයුධ යොදා ගනිමින් යළිත් එවැනි උත්සාහයක නිරත වී ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ තුළින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙන්ම ජාතික ආරක්ෂවට සහ මහජන සාමයට තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් රජයේ නීතිඥවරයා පැවසුවේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා. “ස්වාමීනි…. මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබෙනවා. 1982 අංකල්ප 10 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනතේ 15 (2) වගන්තිය යටතේ මෙවැනි චෝදනා එල්ලවන විත්තිකරුවකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණයට බලය ලබාදී තිබෙනවා. එසේම අදාල පනතේ 15 (අ) 1 වගන්තිය යටතේ මෙසේ බන්ධනාගාර ගත කරන පුද්ගලයෙකු රඳවා තබන ස්ථානය තීරණය කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරාදී තිබෙනවා. හරක් කටා නැමැති විත්තිකරුගේ ක්‍රියාකලාපය නිසා ජාතික ආරක්ෂාවට මෙන්ම මහජන සාමයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙන බව දැනටත් පෙනී යන කරුණක්. එම නිසා හරක් කටා නමැති විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තැබීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියම කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තීරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාටත් යොමු කර තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ රජයේ නීතිඥවරයා එසේ රඳවා තබන විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් ලබාදීම සඳහා නීතිඥවරුන්ට අවශ්‍ය ප්‍රවේශය ලබාදීමට සූදානම් බවත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව හරක් කටා නැමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට විත්තිය අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා ගොනු කිරීමට හැකියාවක් තිබේදැයි අධ්‍යයනය කර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

සාධාරණා නඩු විභාගයක් ලබා ගැනීම සඳහා තම සේවා දායකයාට අනෙක් විත්තිකරුවන්ටද හිමි අයිතිවාසිකම එලෙසම හිමිවිය යුතු බව සඳහන් කළ නීතිඥවරයා ආරක්ෂක ලේකම්වරයා කුමන ආකාරයක නියෝග නිකුත් කළත් ඒවා සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග වලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව සංජය ආරියදාස, අමිලා උදයංගනී, පුබුදු රන්දිම සහ බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥවරු අතරින් එක් වරකට නීතිඥවරු දෙදෙනෙකුට විත්තිකරු හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් පවතින හෙයින් ඉන් පරිබාහිර බන්ධනාගාරයක ඔහු රඳවා තැබීමට හැකි නම් එය යෝග්‍ය බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය මගහැර සිටින රවිදු සන්දීප නමැති විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළේය.

ඉන් අනතුරුව හරක් කටා නමැති විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තැබීමට නියෝග කළ අතර සතියේ දිනවල පෙරවරු 9.30 සහ පස්වරු 4.00 දක්වා කාල සීමාව තුළ විත්තිකරු විසින් නම් කරනු ලබන නීතීඥවරුන්ට ඔහු හමුවී උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙසත් නියෝග කර සිටියේය.

එසේම විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත විනිසුරුවරයා විත්තිකාර හරක් කටා නමැත්තා අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට යොමු කරන ලෙසත් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.

ඉන් අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 26 වන දා කැඳවීමටද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලදී.

(අරුණ)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved