Connect with us

පුවත්

මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්

Published

on

පක්ෂ හයක නියෝජිතයන්  අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක්  මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඇනවුම්කර තිබූ බව පැවසූ සභාපතිවරයා එම අවස්ථාවේ මාධ්‍ය වෙත අවධාරණය කලේ බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදල ගෙවීම අනිවාර්ය බවත් මුළු මුදල ගෙවීමකින් තොරව එකදු බස් රථයක් හෝ නොදෙන බවත්ය.

කෙසේ වෙතත් අදාළ ගෙවීම් සිදුකර පක්ෂ 6 ක් විසින් බස් රථ 685ක් ලබාගෙන තිබේ. 

ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබුණි

දිවයිනේ ප්‍රාදේශික දොළහෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රාදේශික දහයෙන් එහි ප්‍රාදේශික කළමනාකරුවන් විසින් මෙම බස් රථ සපයා ඇති බව පැවසූ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ, 

වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා ඇති  බවය.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනය අද දෙවැනි දිනටත්

Published

on

By

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා කියයි.

පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කළේ අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට ය.

උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙයි.

මේ අතර ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තාකරන ලෙසය.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා ඉහළ ශක්‍යතාවයක් පැවතියද, ඊට අදාළ විසඳුම් ලබාදීම වෙනුවට එම ඉල්ලීම් දේශපාලනික න්‍යාය පත්‍රයන් ලෙස හඳුන්වා දෙමින් වැරදි සහගත නිර්වචනයන් ලබාදීම සිදුවූ බවද පවසයි.

ඒ අනුව ගැටළු විසඳීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂිතව කටයුතු කරද්දි, පරිපුරක වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සිදුකරනු ලැබූ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් අකමැත්තෙන් හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදු වූ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් පසුගිය රජයන් හමුවේ ක්‍රියාත්මක වූ සමහර දේශපාලනික වෘත්තීය සමිති ව්‍යාපාරයන් මෙන් පවතින රජය අපහසුතාවයට පත්කිරිම හෝ වෙනත් පාර්ශ්වයක් බලයට රැගෙන ඒමේ අවශ්‍යතාවයක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එබැවින් තම ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත්, මෙම ගැටළුව විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලෙස මැදිහත් වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුමට එරෙහි පෙත්සම කැදවන්න නියෝග! 

Published

on

By

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (05 ) අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජාතික වැදගත්කමක් සහිත නඩුකරයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටද එමගින් චෝදනා කර ඇත.

එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රධානීන් හමුවේ (ඡායා)

Published

on

By

දිවයිනේ නිල සංචාරයකට සහභාගීව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දුත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගී විය.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහය වීම  සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුරදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කල අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැපවී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කලහ.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.

(defence.lk)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved