Connect with us

ඡායාරූප සටහන

“වෘත්තිකයා දේශපාලකයාට යටවීම විශාල ප්‍රශ්නයක්”

Published

on

ජාතික ජන බලවේගය විසින් සංව්ධානය කරනු ලැබූ  ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව පසුගිය දා (2024.06.01 දින) පැවැත්විණි.

ඒ ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදී ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහිදී අදහස් දැක්වීම සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එක්විය.

“වෘත්තිකයා දේශපාලකයාට යටවීම විශාල ප්‍රශ්නයක්”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් –

මෙයට අවුරුදු 45කට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබී පළමුවන දේශනය කරන්න ලැබුන අවස්ථාවේ මට විශාල චකිතයක් ඇති වුණා. එතැන් සිට ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘත්තිකයන් ඉදිරියේ දේශන දහස් ගණනක් කළ පසුව අදත් මට ආයෙත් ඒ චකිතය දැනෙන්න පටන් ගත්තා. එයට හේතුව වෙන්න ඇත්තේ අද අපේ රටේ ඉන්න දක්ෂතම කතිකයා, දක්ෂතම දේශකයා වගේම ජනතාවගේ බලාපොරොත්තුව වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරියේ මේ කතාව කිරීමට සිදුවීමයි. රටක් දියුණු කිරීම සඳහා සියලු දෙනාගේ දායකත්වය එකසේ අදාළ වන බව පිළිගනිමින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. නීති විරෝධී, සමාජ විරෝධී විවිධ බලපෑම් ඉංජිනේරු වෘත්තිකයන්ට එනවා. කොටසක් ඊට අනුගත වන අතර, තව කොටසක් ඉන් ලාභ ලබාගෙන කටයුතු කළත් තව කොටසක් සිය වෘත්තියෙන් ඉවත්වී රට අතහැර යනවා. ඒ තිබුණු ප්‍රශ්නවලින් මිදිය හැකි රජයක් පිහිටුවා ගැනීම සඳහා අද අපි හැමදෙනාම එකට එකතුවී සිටිනවා.

විශාල පිරිසක් රට අත්හැර යන්නේ මුදල් නිසාම නොවෙයි. තමන්ගේ වෘත්තියට නිසි ගෞරවයක් නොලැබීම, දරුවන්ට අධ්‍යාපනයක් ලබාගැනීමට නොලැබීම එයට බලපා තිබෙනවා. සප්තවාර්ෂික නිවාඩුව සඳහා මෙයට අවුරුදු 26කට පෙර මම පවුලේ සියලු දෙනා සමග කැනඩාවට ගියා. ඒ ගිය අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනාට පාසලක් ගුවන් තොටුපොලේදීම ලිපි ලේඛන සම්පූර්ණ කරවිට පාසැලක් සම්බන්ධ කර දුන්නා. දින කිහිපයකින් එම පාසලේ නියෝජිතයෙක් ඇවිත් දරුවන් දෙදෙනා පාසලට බරගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර දුන්නා. ඒ රටට තාවකාලිකව යන අයගේ දරුවන්ට පවා අධ්‍යාපනය ලබාදීම ඒ රටේ වගකීමක් ලෙස සලකනවා. ඉතින් අපි කොතැනද ඉන්නේ. අනෙක් පැත්තෙන් අපේ රටේ වෘත්තිකයන් බිහිකිරීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදුන්නාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වෘත්තිකයන් වෘත්තිකයන් ලෙස හැසිරෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. සෑම වෘත්තියකටම ආචාර්ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර්ධර්මවලට පිටින් ගිහින් මුදල් මත පමණක් තම වෘත්තියේ නියැලෙනවද කියන ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. තුන්වෙනුව අපේ රටේ වෘත්තිකයින් තමන්ට ඉහලින් දේශපාලකයින් ඔසවා තබනවා. ඒක තවත් බරපතල ගැටලුවක්. වෘත්තිකයින් ලෙස ඉහළ අධ්‍යාපනයක් ලබලා වෘත්තීය දැනුමක් එක්රැස් කරගෙන වැඩ කරන්න යනකොට ඉස්කෝලේ ගියපු නැති දේශපාලකයා කියන විදියට වැඩ කරනවා. මෙවැනි ආකාරයේ වෘත්තිකයින් බිහි නොවෙන වගකීම අධ්‍යාපනය බාරගන්න ඕනෑ.

අපේ රටේ දේශපාලකයන් අතර ගරු කියලා කියන්න පුළුවන් පිරිසක් වෘත්තීය මට්ටමින් වැඩකරනකොට මට හමුවෙලා නැහැ. එහෙම පාලකයන් කැබිනට් මණ්ඩලයේ හෝ නිලතල වල අපට හමුවී නැහැ. මට එහෙම අය හමුවෙලා තියෙනවා ගුරු වෘත්තියේ, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සහ තවත රැකියා ක්ෂේත්‍රවල.

අපි බලාපොරොත්තු වෙන්නේ රටට ආයෝජන එනකොට ඉංජිනේරු වෘත්තිකයන්ට අවස්ථාවක් ලැබෙන ආයෝජන. ඒ වගේම යම් ව්‍යාපෘතියක් සිදුකරන විට එහි ප්‍රමුඛතාව වෘත්තිකයින්ට ලැබෙන්න ඕන. දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කළ හැකි, වෘත්තීය දියුණුව ඇති කර ගත හැකි පාලනයක්. එවැනි ආණ්ඩුවක් බිහිකර ගැනීම වෙනුවෙන්.  

“අපේ ප්‍රතිපත්ති මූලික විය යුත්තේ නව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් වෙතයි”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර –

මේක දේශපාලන වේදිකාවක මම කරන පළමු දේශපාලන කතාව. කිසි දවසක දේශපාලන වේදිකාවක කතා කරන්න නොසිතපු මම වගේ පුද්ගලයෙක් අද ඇයි මෙහෙම කතා කරන්නේ. මෙහෙම කතා කරන්න මාව පෙළඹවූයේ මගේ හෘද සාක්ෂියයි. විශ්වවිද්‍යාලවල අපි ශිෂ්‍යයන් දැනුමෙන් පෝෂණය කරලා, එළියට යැව්වාම ඔවුන්ට තිබෙන අනාගතය මොකක්ද කියලා මගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළා. දශක ගණනාවක් රට පාලනය කළ අය අපේ ශිෂ්‍යයන්ට වෘත්තිකයන්ට ඉතිරිකර දී තිබෙන්නේ, මෙවැනි ආර්ථික වටපිටාවක් නම්, අපි තවදුරටත් නිහඬව නොසිටිය යුතු බව, මේ ශිෂ්‍යයින්ට හරි අනාගතයක් තියෙනවාද? ඔවුන්ගේ වෘත්තීය මටට්මින් වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවාද? එහෙම පරිසරයක් නැති තත්වයක් තුළ තව දුරටත් නිහඬව සිටිය යුතුයිද? කියලා හෘදයසාක්ෂිය මගෙන්ම ප්‍රශ්න කරනවා. දශක ගණනාවක් රට පාලනය කළ පාලකයින් අපේ ශිෂ්‍යයන්ට උරුම කරදී තිබෙන්නේ මෙවැනි වටපිටාවක් නම් අපි තවදුරටත් නිහඬව සිටිය යුතු නැහැ. අපේ ආර්ථික වර්ධනයට විශාල වශයෙන් බලපාන වෘත්තියකයන් මේ රට අත්හැර යන විට ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ව ආදරයෙන් බාරගන්නවා. වෘත්තිකයන් රට අත්හැර යාම තුළින් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත කඩාවැටීම පිළිබඳව පාලකයන්ට කිසිම සංවේදීකමක් නැහැ. මේ නිසා අපි වෘත්තිකයන් රඳවාගෙන රට ගොඩනැගීමට යොදාගන්නා ජාතික ජන බලවේගය වටා සියලු දෙනා ඒකරාශී වියයුතුයි කියා මම යෝජනා කරනවා.

සමහර තරුණ වෘත්තිකයන් ලබන වැටුපෙන් ණය ගෙවලා, බදු ගෙවලා ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තරුණ වෘත්තිකයන්ගේ මනස එවැනි පීඩාවලින් නිදහස් කළොත් තමයි නව නිර්මාණ කළ හැකි වන්නේ. මේ දේශපාලන වාතාවරණය, ආර්ථික වාතාවරණය සහ සමාජ වාතාවරණය වෙනස් කර නව මාර්ගයක ගමන් කිරීම අපි හැමෝගෙම වගකීමක්. ඒ සඳහා තිබෙන සුදුසුම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. ඒ වෙනුවෙන් අපි උපරිමයෙන් වැඩකරමු.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන් හැටියට අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති සියල්ල දැනුම මත පදනම් වූ නව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට යොමු වීමයි. ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර සහ සම්බන්ධතාවයක් ඇති කිරීම ඒ අතරින් මූලිකයි. පශ්චාත් උපාධි ලබාගන්නා අපේ තරුණ වෘත්තිකයන් විදේශ රටවලත් අධ්‍යාපනය ලැබීමෙන් පසු අපේ රටට පැමිණ කර්මාන්තවලට යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මේ වනතුරු නැහැ. නව දැනුම සහ තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණශීලී, වැඩදායී කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමේ හැකියාව අපට තිබෙනවා. තව අවුරුදු 10ක් 15ක් ඉදිරිය ගැන හිතුවොත් සිවිල් ඉංජිනේරු කටයුතු වෙනම ඩිජිටල් යුගයකට පරිවතර්නය වන බව පැහැදිලියි. මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකේ දී විවිධ තාක්ෂණයන් එකතු කර ගනිමින් ඉදිරියට ගැනීමේ අභියෝගය අපිට තිබෙනවා. ඒ වගේම දේශීය තාක්ෂණයත් කර්මාන්වලට යොදා ගන්නා දැනුම පදනම් කරගත් නව නිෂ්පාදන ආර්ථිකයකට අපිට ගමන් කළ හැකියි. නව අවශ්‍යතා අනුව අපේ විශ්වවිද්‍යාල ඇතුළේම පූර්ණකාලීන පශ්චාත් උපාධි පාටමාලා ඇති කිරීමත් ඉදිරියේදී කළ යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයකට ඉංජිනේරුවන් වන අප හැම දෙනාම එක මිටට එකතු වී සහයෝගය ලබාදියයුතු වෙනවා.

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved