Connect with us

පුවත්

ඉදිරි ජනපතිවරණයේ දී තීරණය වන්නේ මගේ නොව රටේ ජය පැරදුමයි – ජනපති

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රජයේ වැඩපිළිවෙළ  සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර  සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලි‍‍මේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

“අද ඔබ මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙසයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසුව කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කිරීමේදි එතුමා ලබාදුන් අදහසක් තමයි අද මේ අයුරින් දියුණු කර තිබෙන්නේ. තරුණ නායකයන්ට රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ලබා දෙමින් ආණ්ඩුවේ කටයුතුවලට දායක වීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අප එම සියලු අදහස්වලට ඇහුම්කම් දෙනවා.

අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.

මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන  යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.

රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී  අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමඟ රටට ආදායම් අහිමි වුණා. ඒ සමඟම කොවිඩ් වසංගතයත් පැමිණියා.  රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඒ වෙනුවට කළේ ඉටු කළ නොහැකි බව දැනගෙන වුවද ජනතාවට විවිධ පොරොන්දු ලබා දීමයි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි වීමයි.

ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳිමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

ඉන් පසුව තරුණයන්ට ද  මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.
අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නැහැ. විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහත්මයා  කොහොමද, කොතැනද වාද කරන්නේ කියා තෝර ගන්න මාසයක් වාද කළා. අවසානයේ එක් අයෙක් පැමිණියේ නැහැ. මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වි නැහැ.

ඒ නිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවද කියලා ඔවුන් පැවසිය යුතුයි. නමුත් කිසිවෙක් එවන් ප්‍රකාශයක් සිදු කර නැහැ. ඔබේ ආනගතය භාර ගැනීමට ඔවුන් සූදානම් නැත්නම් ඔබ ඔබේ අනාගතය ගැන සිතා ඉදිරියට යා යුතුයි. එහිදී මෙවන් වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. ඔබේ දැනුම වැඩිකර ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරීන් සහ පුද්ගලික අංශය හමුවීමට අවස්ථාව සලසා දිය හැකියි. නව යෝජනා ඉදිරියට ආ යුතුයි. පැරණි ක්‍රමවේදයේ තවදුරටත් සිර වී නොසිට අපි රටක් ලෙස වේගයෙන් ඉදිරියට යමු කියා මා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.”

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved