Connect with us

පුවත්

විශේෂඥ කමිටුවේ වාර්තාව ජනපති අතට

Published

on

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. සනාතනන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆර්සානා හනීෆා,  ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව 2023-05-22 වනදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබීය.

1983-2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්‍යයනය කරන ලදී.

ඒ අනුව විශේෂඥ කමිටුව විසින් පසුගිය කාලය තුළ යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මහජන අදහස් විමසීමේ සැසි පවත්වන ලද අතර සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් අදහස් විමසීම ද සිදු කෙරිණි.

මෙම මහජන සැසි, අදාළ ප්‍රදේශවල සේවය කරන ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයෙහි ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලදි. ඒ සඳහා සහභාගී වූ ජනතාවට ජාතික සමගිය, සංහිදියාව සහ ප්‍රතිසන්ධානය පිළිබඳ සිය අභිලාෂයන්, අදහස් සහ යෝජනා විවෘතව සහ නිදහස්ව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිනි.

අනුස්මරණය සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවට කමිටුව විසින්  අවධාරණය කර ඇති අතර, විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් අනුස්මරණය සහ ප්‍රතිසන්ධානය යන සංසිද්ධීන් සමඟ වෙනස් ආකාරයෙන් ක්‍රියාකරන බවට කමිටු වාර්තාව තුළින් පෙන්වා දී ඇත.ඒ හරහා ගොඩනැගුණු පොහොසත් දැනුම් සම්භාරයක් පවතින බවත් පෙන්වා දෙන විශේෂඥ කමිටුව, රටේ ගැටුම් සම්බන්ධ අතීතය පිළිබඳව  වාර්තා කිරීමට, අදහස් දැක්වීමට හෝ වෙනත් ආකාරයකින් ඒ හා කටයුතු කිරීමට දරන උත්සහයේ දී එම දායකත්වයන් උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිළි කර දී ඇත.

සිය අධ්‍යයනයේ දී මතු වූ පුළුල් අදහස් මාලාව සලකා බැලීමෙන් අනතුරුව කමිටුව විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අතුරින් ශ්‍රී ලංකාවේ ගැටුම් සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්ට අදාළව ගැටුම් සමය තුළ දී බිහි වූ කලාත්මක හා සංස්කෘතික ප්‍රකාශන තැන්පත් කරනු ලබන සං‍රක්ෂණාගාරයක් වශයෙන් සංකේතීය ගොඩනැගිල්ලක් කේන්ද්‍රීය ස්ථානයක ඉදිකිරීම නිර්දේශ කර ඇත. මේ තුළින් ගැටුම් නැවත ඇති නොවීම සඳහා සාමූහික කැපවීම සහතික කිරීමත්, සියලු ශ්‍රී ලාංකිකයන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කෙරේ.

කමිටු වාර්තාව භාරදීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය‍.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved