Connect with us

පුවත්

“උරුමය” ඉඩම් ඔප්පු ලබා දීමට ජංගම වැඩසටහනක්

Published

on

සින්නක්කර ඉඩම් ඔප්පු  ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය”  ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය  කටයුතු කර ඇත.

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන  බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ  ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙසේද පැවසුවාය.

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට රට පුරා ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක වන අතර එය තවත් වේගවත් කිරීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මේ මස 26 වනදා සිට 30 දක්වා දිනවල දීප ව්‍යාප්තව ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ ජංගම වැඩසටහන සඳහා ඉඩමක සින්නක්කර ඔප්පුව ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතයි. බලපත්‍ර ලාභියා කළ යුත්තේ ඔහු අත තිබෙන බලපත්‍රය හෝ දීමනා පත්‍රය ඉදිරිපත් කිරීම පමණයි.අනෙක් සියලුම මිනුම් කටයුතු, ලේඛන කටයුතු රාජ්‍ය නිලධාරීන් විසින් සකස් කර දෙනවා. මෙම වැඩසටහන සමඟ රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සඳහා ඉඩම් බලපත්‍ර  ලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවද සඳහන් කළ යුතුයි.

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් පාඩිකෝරාළ මහතා

මහවැලි කලාප තුළ බලපත්‍රලාභීන් 280,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මහවැලි කලාප දහය තුළ දිස්ත්‍රික්ක පහළොවක ජීවත්වන බලපත්‍රලාභී සියලුම දෙනාට උරුමය  වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට හැටදහසක පමණ පිරිසකට ඔප්පු  ලබාදීම සඳහා සියලුම  වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ග්‍රාමීය ජනතාවට මේ පණිවුඩය නිසි පරිදි අවබෝධ වී නැහැ. ඇතැමුන් තමන්ගේ ඉඩම් හිමි බලපත්‍ර නිවෙසේ තබාගෙන සිටීම තුළ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීමට ඇති මහඟු අවස්ථාව අහිමිවී යන බව කිවයුතුයි.

ඒ නිසා හැකි ඉක්මණින් තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තමා සතු බලපත්‍රය බාරදී කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න කියන දැනුම්දීම ද මේ අවස්ථාවේ සිදු කරනවා.

එසේම මෙම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සහ ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව පැවැත්විමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගමට පැමිණෙනවා. එහිදී තමන්ගේ ඉඩම සම්බන්ධ ලිපි ලේඛන ලබාදී ලදුපතක් ලබාගතයුතුයි. උරුමය වැඩසටහන යටතේ තම සින්නක්කර ඉඩම් අයිතිය කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අභයගුණවර්ධන, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ කේ.ආර්. සරත් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved