මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය.
එම වැටලීමේ දී කසිප්පු බෝතල් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙකි.
කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් මේ මත්පැන් අලෙවි කර තිබෙන බව පොලිසිය පැවසීය.
එමෙන්ම ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව එම ස්ථානයේ කිසිප්පු බෝතල් 10ක් පමණ මේ ආකාරයට අලෙවි කර තිබෙන බවත් පොලීසිය විසින් සඳහන් කරන ලදී.
මේ අතර මහනුවර මධ්‍යම වෙළෙඳපොළට පැමිණෙන ලොරි රථවලට භාණ්ඩ පැටවීම හා බෑම සිදුකරන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය පෙරවරු 5.00ට පමණ ආරම්භ කරන බවත් පැවසේ.
රුපියල් 1,200ක මුදලකට තමන් ලබා ගන්නා කසිප්පු බෝතලයක් කෝප්පවලට දමා විකිණීමෙන් රුපියල් 2,000ක පමණ මුදලක් ලැබෙන බවත් දිනකට බෝතල් 10ක් පමණ අලෙවි කර රුපියල් 8,000ක පමණ අමතර ආදායමක් හෝටලයේ හිමිකරු ලබා ගන්නා බවත් හෙළිව තිබේ.
මහනුවර පොලීසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්යම වෙළෙඳ පොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.