කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන නඩු පැවරුවැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් සැරයන්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු වවුනියාවට ස්ථාන මාරු කර යවන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් ගැන වැලිපැන්න පොලිසියෙන් වාර්තා වේ.
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් අදාළ බැණ වැදීම සිදු කර ඇතැයි පැවසේ.
කෙසේවුවද, තමාට සිදුකළ තර්ජනය හා බැණ වැදීම සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් සටහනක් ද යොදා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාටද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ඉකුත් 4 වැනිදා එකී මන්ත්‍රිවරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන ‘‘කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ, ඔහුගේ පදිංචිය ආදී තොරතුරු විමසා, මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?’’ යනුවෙන් විමසා ඇත.
එහිදී ස්ථානාධිපතිවරයා, අජිත් නැමැති නිලධාරියා මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාගේ ඥාති සහෝදරයකු බවත් මන්ත්‍රීවරයාට පවසා තිබේ.
මන්ත්‍රිවරයා වටගලගේ ද යනුවෙන් විමසා දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දුරකතනයට ඇමතුමක් ගෙන අජිත් නැමැති පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකතන අංකය ඉල්ලූ බවත් තමන් එම අංකය කෙටි පණිවුඩයකින් යැවූ බවත් ස්ථානාධිපතිවරයා පොලිස් පොතේ සටහනක් යොදා ඇතැයිද පැවසේ.
බැණ්නට පස්සේ සාජන් වැඩටත් ඇවිත් නැහැ…
එදින සවස 06 ට පමණ පොලිස් සැරයන් අජිත් තමා හමුවට පැමිණ මන්ත්‍රිවරයා තම ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන තමාට පරුෂ වචනින් බැණ වැදුණු බවත් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඊට හේතු වී ඇති බවත් තමාව වවුනියාවට මාරු කර යවන බවටද මන්ත්‍රිවරයා තර්ජනය කළ බවත් පොලිස් සැරයන් පැවැසු බවද පොලිස් පොතේ සටහන් කර ඇතැයි වාර්තා වේ.
ඒ බව පොලිස් සැරයන්වරයා ද මන්ත්‍රිවරයා බැණ වැදුණු දුරකථනයේ අංකයද යොදා සී පී අයි බි (2) 353/40 ලෙස සටහනක් යොදමින් සාධාරණයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ.
එදින සිට මේ දක්වා සැරයන්වරයා රාජකාරියට වාර්තා කර නැතැයි ද වැලිපැන්න පොලිසියේ ආරංචි මාර්ග කියා සිටියි.
මෙකී සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.
මූලාශ්‍රය – අරුණ