ව්‍යාජ ලෙස සකස් කරන ලද පොහොර ගොවීන්ට වැඩි මිලට අලෙවි කළ පොලොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයකු ඇතුළු සේවකයන් දොළොස්දෙනකු පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ කාලයක සිට නයිට්‍රජන් සියයට විසි එකක් (21%) පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්, සියයට හතළිස් හයක් (46%) නයිට්‍රජන් පවතින බව සඳහන් කර එම පොහොර බෑග්වල අසුරා ගොවීන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි පැවසේ.
කලවම් කරන ලද පොහොර මිටි දහසකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය භාරයට ගෙන තිබේ.
මෙම ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සේවකයන් එකොළොස්දෙනකු එම පොහොර මිශ්‍ර කරමින් සිටි බව එම විමර්ශන නිලධාරිහු පැවසූහ.
අත්අඩංගුවට ගත් මෙහි කළමනාකරු බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පොහොර ඇසුරුම් කරමින් සිටි සේවකයන් මඩකලපුව සන්ධිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළේය.
වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර බෑග් මහන යන්ත්‍ර සහ මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද එම නිලධාරින් භාරයට ගෙන තිබේ.
මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු විසින් පෞද්ගලික පොහොර සමාගමකින් කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් පන්දහසක් වැනි මිලකට ලබාගෙන ඇත.
පසුව ඒවා අරලගංවිල, සිරිපුර, වැලිකන්ද ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරා සිටින ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට බෙදා හැර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාව සඳහා යල මහ දෙකන්නයේ බොහෝ ගොවීන් පිරිසක් කලක සිට යොදාගෙන ඇත්තේ මෙම ජාවාරම්කරුවාගෙන් ලබාගන්නා පොහොර බවත් ගොයම කහගැන්වී අස්වැන්න අඩුවීමට එය හේතුවක් වී ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් පොලිසිය පැවසීය.
මේ අතර මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ප්‍රධාන සැකකරු සමග තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවට සැකකරන බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.
අදාළ සැකකරුවන් බී වාර්තාවක් මගින් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (14) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මූලාශ්‍රය – අරුණ