Connect with us

පුවත්

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර අහෝසි කර නෑ

Published

on

රාජ්‍ය සේවයේ උසස් නිලධාරින්ට ලබා දෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට මේ වන විට වාහන බලපත්‍ර 15,000ත් 20,000ත් අතර සංඛාවක් නිකුත්ව ඇති බවත් වාහන බලපත්‍ර සඳහා මේ මොහොතේ අවස්ථාව ලබාදුනහොත් අපේක්ෂිත ආර්ථික ඉලක්කවලට ළඟාවීම අපහසු වන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව මේ මොහොතේ පවතින්නේ ප්‍රමුඛතාව පිළිබඳ ගැටලුවක් මිස රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කිරීම ගැන ගැටලුවක් නොවන බව ද කීවේය.

අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වාහන ආනයනය කිරීම සඳහා රජය තීරණය කළේ කරුණු ගණනාවක් කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමෙන් පසුව බව ද ඇමැතිවරයා පැවසීය. එවන් පසුබිමක් යටතේ තීන්දු තීරණ ගත යුත්තේ සමස්ත ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරමින් බව ද ඇමැතිවරයා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වාහන ආනයනය නිදහස් කිරීමට පදනම් වුණේ සමස්ත ආර්ථිකය සැලකිල්ලට අරන්. 2025 වසර ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය තලයක නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් අනුව කටයුතු කිරීමට අපට සිදු වෙනවා. ඒ වගේම සංචිත ගැන අවධානය යොමු කරන්න වෙනවා

රාජ්‍ය ආදායම, බදු ක්‍රමය මේ සියල්ල ගැනම අවධානය යොමු කරන්නට වෙනවා. රජයට යම් ආදායමක් ලබා දෙන්නත් වෙනවා. වාහන පර්මිට්වලදී, රජයේ උසස් නිලධාරීන්ට ලබාදෙන ප්‍රතිලාභය අහිමි කරන්නට කිසිම අදහසක් නැහැ. මෙම ප්‍රතිලාභය ලබාදීමේදී අතීතයේදී ගත්ත ක්‍රියාමාර්ගවල වැරදි තිබිය හැකියි. නමුත් ඔවුන්ට සාධාරණ වැටුපක් හෝ වෙනත් කරුණු නිසා මේ වරප්‍රසාදය නොලැබුණා විය හැකියි. කෙසේ වෙතත් ඒවා වෙනම අධ්‍යයනය කළ හැකියි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් කිසිම තීන්දුවක් අරගෙන නැහැ වාහන බලපත්‍ර අහෝසි කිරීමට. නමුත් මේ වසරට සාපේක්ෂව එන සීමාවන්ගේ පෙළගැස්වීම ප්‍රමුඛතාව අනුව දැනට නිකුත් වී ඇති බලපත්‍ර ප්‍රමාණය ගත්තම විශාල ප්‍රමාණයක්. එය 15,000ක් – 20,000ක් පමණ වෙනවා. විදේශීය සංචිත පිළිබඳව අවධානය යොමුකර පර්මිට්වලට ඉඩ ඇරියොත් අපගේ ඉලක්කවලට ළඟාවීමට බැරිව යනවා. ඒ නිසා ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්නයක් මිස අහෝසි කිරීමට කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ”.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මෙණෙවිය මතු කරන ලද ප්‍රශ්නයක් සඳහා ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ එකඟතා අනුව අපට කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම පැවැති තත්ත්වය අනුව වසර ගණනාවක් වාහන ආනයනය නතර කර තිබුණා. වාහන ආනයනය කිරීමට යම් ඉඩක් ලබාදිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ වගේම ආර්ථිකය ප්‍රසාරණය වීමේදී නිෂ්පාදනය වැඩි වෙන කොට වාහන අවශ්‍ය වෙනවා. ඒ නිසා පියවර කිහිපයක් යටතේ, අදියර කිහිපයක් යටතේ කටයුතු කිරීමට අපට සිදු වෙනවා. එහිදි ආර්ථිකයට සම්බන්ධ වන කොටසට තමයි මූලික අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දෙවනුවත් තෙවනුව පෞද්ගලික වාහන සඳහාත් අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

අපි තේරුම්ගත යුතුයි සිරවෙලා, වට්ටලා තිබුණු තැනකදී වාහන ආනයනයේදී විදෙස් සංචිත මෙතෙන්ට බලපානවා. දේශීය සංචිතවල යම් වර්ධනයක් තිබෙනවා, ඩොලර් බිලියන 6 ඉක්ම වන පරිදි. වාහන ආනයනය සඳහා ඒ සියල්ල භාවිත කරන්නත් බැහැ. ඉල්ලුමට සරිලන පරිදි වෙළෙඳපොළ විවෘත කළොත් මේ සංචිත සියල්ල අවසාන වෙන්න පුළුවන්. මෙතනදී සැලකිය යුතු මට්ටමක් කෙරෙහි තමයි අපට අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව දෙන උපදෙස්, විශ්ලේෂණ සැලකිල්ලට ගෙන ඉදිරියට ගෙන යනවා. ලීසිං සමාගම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ උත්සාහයන් දරනවා කියලා සමාජ මාධ්‍ය තුළත් විවිධ මත පළ වෙනවා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කිසිම පුද්ගලයෙක්, කණ්ඩායමක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, එක් පිරිසකට පහර දීම වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. සමස්තය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා.

ඒ වාහන ආනයනය කිරීමට කලින් මිල වැඩි වීම වුණොත් උද්ධමනයට සාපේක්ෂව මිල ගණන් ගැළපීමක් සිදු කළ යුතුයි. ඒ උද්ධමන අනුපාතය අනුවයි මිල ගණන් වැඩි වීම සිදුව ඇත්තේ. තෝරා ගත්ත කණ්ඩායමක් ආරක්ෂා කිරීමටවත්, තෝරා ගත්ත කණ්ඩායමකට අසාධාරණයක් සිදු කිරීමටවත් ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නැහැ. එසේ තීන්දු තීරණ ගන්නෙත් නැහැ.”

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading

පුවත්

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

Published

on

By

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ.

පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද (01) සිය යළි ආරම්භ කෙරෙන බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවක දී හඳුනාගෙන ඇත්තේ රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවය.

මෙම තත්ත්වය මෙන්ම රථවාහන වල අමතර කොටස් සවිකිරීම ද අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රි රෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්වය.

අද  (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟ වන බව බස් සහ ත්‍රි රෝද රථ සංගම් පවසයි..

Continue Reading

පුවත්

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

Published

on

By

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.

කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය.

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා ඊයේ (30) මේ අදහස් දැක්වීය.

රටේ දළ දේශීය නිෂ්පා­ද­න­යට 50%කට වැඩි දාය­ක­ත්ව­යක් ලබා දෙමින් 40 ලක්ෂ­ය­කට වැඩි ප්‍රමා­ණ­ය­කට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් බව හෙතෙම පෙන්වා දෙයි.

මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියා­ත්මක කර ව්‍යව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍ර­යෙන් දළ දේශීය නිෂ්පා­ද­න­යට වෙන දාය­ක­ත්වය අඩු වෙන බවට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජු­වම ආර්ථික වර්ධ­න­යට බල­පාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved