2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COඵෑ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදු කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවය.
මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බවය
මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර්ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, දිනිඳු සමන් හෙන්නායක, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, අජන්ත ගම්මැද්දෙගේ, සුසන්ත කමාර නවරත්න සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.