Connect with us

පුවත්

කොටහේනේදී පොලිසියෙන් මෝටර් රථයකට වෙඩි

Published

on

කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

මට්ටක්කුලිය පොලීසිය විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය කියා සිටී.

පොලීසිය විසින් සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබීමෙන් පසු අදාළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ අදාළ මෝටර් රථයේ රියදුරු විසින් එම රථය පැහැරගෙන පැමිණ ඇති බවයි. 

කොටහේන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

පුවත්

ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

Published

on

By

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්  තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී ස.තො.ස ආයතනයේ වැටුප් නිලධාරී මෙරින්නගේ කොස්තා මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදුකළේය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තැබු විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

පහේ ශිෂ්‍යත්වය අහෝසිද ?

Published

on

By

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසා සිටියාය.

අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

“ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

Continue Reading

පුවත්

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන්  සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.

එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 04 පෙ.ව.7.12 )

ශ්‍රීලන්කන් ගුවන් යනා ඇණියට අද එයාර්බස් A330-200ක් යානයක් එක් වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ ගුවන් යානය උදෑසන 8.00 සිට 9.00 අතර කාලයේ, අඩි 1,000ක පමණ උසකින් කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට ද නියමිත බව පැවසේ.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, මෙරට ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගුදුර හා කෙටිදුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved