Connect with us

විදෙස්

දකුණු කාශ්මීරයේ වෙඩිතැබීමකින් 26ක් මරුට – මෝදිගෙන් අනතුරු ඇඟවීම්

Published

on

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි වාර්තා වේ.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා තිබේ.අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කරයි.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සටහනක් ද තබා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙවැන්නක්;

”ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මම දැඩි ලෙස හෙළා දකිමි. තම ආදරණීයයන් අහිමි වූවන්ට ශෝකය පළ කරමි. තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. පීඩාවට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙනු ලැබේ.

මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අයව නීතිය හමුවට පමුණුවනු ලැබේ… ඔවුන් බේරෙන්නේ නැත! ඔවුන්ගේ නපුරු න්‍යාය පත්‍රය කිසි විටෙකත් සාර්ථක නොවනු ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත” යනුවෙන් එහි සඳහන්.

විදෙස්

අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ටාටා වෙතින් වන්දි

Published

on

By

ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ බව ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය පවසයි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් X සටහනක් තබමින් එහි සභාපති එන්.චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර ඇත.

ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණි.

එයාර් ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් ඊයේ අහමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනකු සමඟිනි.

යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පස්වරු 6.25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබුණි.

කාර්යමණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගීන් 230 දෙනකු සිටි අතර බිලිඳුන් දෙදෙනකුද ඒ අතර විය.

ගුජරාට් හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැත.

පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කරගනිමින් යානය කඩාවැටුණි.

යානය කඩාවැටී තිබුණේ අහ්මදාබාද් ආසන්න මෙඝානි නගර් හි පිහිටි BJ වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටය.

ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අසීරුතාවක් පෙන්නුම් කර තිබූ බවත් එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක් ද නිකුත් කර තිබූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේ අතර කඩා වැටුන යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකෙන් එකක් මේ වනවිට සොයා ගැනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔස්සේ යානය අනතුරට ලක්වීමට හේතුව පිළිබඳ යම් අනාවරණයක් සිදුකරගැනිමට හැකියාව ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද උදෑසන මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානයේ නිරීක්ෂණයක යෙදී ඇති අතර ඒ බව සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published

on

By

මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසය.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් දෙන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳීසිටින ලෙසය.

ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට ද ඊශ්‍රායලය උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයින්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධවෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවය.

ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හමුවෙ ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ද මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “ඔපරේෂන් රයිසින් ලයන්” ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, මිසයිල කම්හල් සහ හමුදා මූලස්ථාන ඉලක්ක වූ බවය.

මෙම දැවැන්ත ප්‍රහාරයට ඉරානය නිසැකවම ප්‍රතිචාර දක්වනු ඇති බැවින් සිය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර සියලු පාසල් වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ මධ්‍යස්ථාන මෙන්ම හමුදා ඉලක්ක වෙතද එල්ලවූ මෙම ප්‍රහාර සිදුකර තිබුණේ ඊශ්‍රායලයට අයත් IAF ජෙට් යානා යොදගනිමිනි.

ඉරානයේ ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය ද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි මියගොස් ඇතැයි ඉරානය මාධ්‍ය වාර්තා කළේය.

ඔහු සැලකෙන්නේ එරට උසස්ම හමුදා නිලධාරියා ද ලෙසය.

එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී තිබුණි.

කෙසේවෙතත් නට්සාන් න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල වූ බවට තහවුරු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි විකිරණ මට්ටම ඉහළ ගොස් නැතැයි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් ඉරානය ඊශ්‍රායලය වෙත ප්‍රහාරක යානා 200ක් පමණ යොමුකර ඇති බවය.

ප්‍රහාරය ඊශ්‍රායලයේ අධම ස්වභාවය පැහැදිලි කරන්නක් බවත්, මෙමගින් ඊශ්‍රායලය සිය රටට අමිහිරි ඉරණමක් සැලසුම් කරගත් බවත්, ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙයිනි ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රහාරය සම්බන්ධව අදහස් පළකළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ මෙය ප්‍රහාරයේ ආරම්භය වන අතර අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම වැළැක්වීම සහ එමගින් සිය ජනතාව ආරක්ෂා කරගැනීම මෙම ප්‍රහාරය සිදුකළ බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අමෙරිකාව පවසන්නේ තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය නොවන සියලු අමෙරිකානුවන්ට එම කලාපයෙන් ඉවතවන ලෙස අමෙරිකාව පසුගියදා නියෝග කළේය.

මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබේ.

Continue Reading

විදෙස්

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර (UPDATE)

Published

on

By

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.

මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා සිටියේ, රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බවය.


(පෙර පුවත 2025 ජූනි 12 පෙ.ව.8.22 )

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් (වීඩියෝ )

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය.

ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර තිබේ.

ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

වීඩියෝ  – Associated Press

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved