Connect with us

පුවත්

බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන තව තොරතුරු හෙළිවේ (UPDATE)

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතරතුර අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි.

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානය අද උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණි.

ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයින් රැගෙන යාමටය.

ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වනවිට මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 6දෙනෙකු නංවා ගත් බවය.

ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 6දෙනෙක් සමග පුද්ගලයින් 12දෙනෙකු සිට තිබේ.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුඔය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින්, අනතුරට ලක්වූ පිරිස මුදාගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.

ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12දෙනාම මුදාගෙන අරලගංවිල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු බවය.

කෙසේවෙතත් ඉන් සෙබළුන් 06 දෙනෙකු පසුව ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවර ගෙන තිබේ.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.53 )

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

පුවත්

2% බස් ගාස්තු අඩුවට බස් සංගම් වලින් විරෝධය

Published

on

By

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුගේ සාක්ෂිකරුවන් කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදී අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම කියා සිටියේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවයි.

මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත් ඔවුන්ව මුදාහැරීමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කළේය. 

වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කිරීම අද සිදු විය.

රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය පෙර එකඟ වූ පරිදි, 2025 ජූලි 01 දින පෙ.ව. 9.30ට රැස්වී මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ විය.

පරීක්ෂණ කමිටුව යළි ජූලි 01 දින රැස්වීමට නියමිතය.

Continue Reading

පුවත්

උපුල්දෙණිය නැවතත් රිමාන්ඩ්

Published

on

By

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ (25) අද කැඳවූ අවස්ථාවේදීය.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය ජූනි 09 වන දිනය.

කෙසේවෙතත්, සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා (23) නියෝග කලේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved