Connect with us

පුවත්

මාලිනී මියගියේ පහුගිය සතියේ නෙමෙයි – උදය

Published

on

හෙළ සිනමාවේ නිළි රැජිනි මාලිනී ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කුහකත්වයක් ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජාතික ලැයිස්තුව හදලා තියෙන්නෙම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි නීති සම්පාදනයට සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවද ඔහු සඳහන් කරයි.

“ඇය මේ රටේ කලා ක්ෂේත්‍රයේ නිළි රැජින. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකාවක් නිසා නොවේ. ඇය වේදිකා ගානේ ගොස් මහින්ද රාජපක්ෂ ජනපති කරන්න වෙහෙස මහන්සි වෙලා නැහැ. හැබැයි එතුමියට කරන ගෞරවයක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කළා. ඒ නිසා ලෝකයේ සම්මානයට පාත්‍ර වී ඇති නිළි රැජින මේ ආණ්ඩුව දැක්කේ මහින්ද රාජපක්ෂගේ ඇබිත්තියක් වගේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇයට අවමන් කරමින් ආණ්ඩුවේ පිරිස් කතා කරේ ඇයත් සමග තියෙන කේන්තියෙන්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. ඇත්තටම ඇය මියගියේ පසුගිය සතියේ නෙවේ, පාර්ලිමේන්තුවේදී ඇයගේ චරිතය ඝාතනය කරනවා රූපවාහිනියෙන් ඇය බලා සිටි මොහොතේ. ඒ නිසා තමන් කරපු ඒ අපහාසය නිවැරදි කර ගන්න ඇයගේ දේහයට ලබා දිය යුතු ගෞරවය උපරිම ලබා දෙන්න තිබුණා. ඒත් රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් දැක්වීම හරහා මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දිනක යළි නිවැරදි කර ගත නොහැකි වරදක් කර තිබෙනවා.”

පුවත්

ඊයේ රාත්‍රිය වනවිට රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක් (Update)

Published

on

By

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පසුගිය බ්‍රහස්පතීන්දා (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවය.

එමෙන්ම අනෙකුත් බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව පැය 24ක කාලය තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයිද ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.

ඒ අතුරින් මධ්‍යම පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 15,000න් 5,300ක ප්‍රමාණයක් සහ බස්නාහිර පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 10,000න් 1,700ක ප්‍රමාණයක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් පිළිසකර කර තිබේ.

එමෙන්ම මේ වන විටත් විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වී නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් ආදි සිදුවීම් වාර්තා වන්නේ නම් විදුලි බල මණ්ඩලයේ 1987 අමතා දැනුවත් කරන ලෙසත් විදුලි බල මණ්ඩලයේ CEB Care ජංගම යෙදුම මගින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.


(පෙර පුව​ත 2025 මැයි 30, ප.ව.9:49)

රට පුරා විදුලිය බිඳවැටීම් 29,015ක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 29,015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කිසියම් ප්‍රදේශයක විදුලි බිඳවැටීම් ඇත්නම් 1987 යන කෙටි දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

කාලගුණෙන් පුද්ගලයන් 1,757කට ආපදා
මේ අතර, අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 485 කට අයත් පුද්ගලයන් 1,757 ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පැවසීය.ස්ථානය කියයි.

පුත්තලම, යාපනය, කිලිනොච්චිය, හම්බන්තොට, ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් සහ දැඩි සුළගින් දැඩි බලපෑම් වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 168 කට අයත් පුද්ගලයන් 614 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 146 කට අයත් පුද්ගලයන් 486 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 79 කට අයත් පුද්ගලයන් 304 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51 කට අයත් පුද්ගලයන් 204 ක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

තද වැසි තවදුරටත්

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වඩා තද වැසි ඇති විය හැකි බවය.

උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60ක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද පිටවෙයි

Published

on

By

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබේ.

එම නියමය අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව ඇත.

තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබාගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කරනු ඇත.

Continue Reading

පුවත්

තද සුළං හා ගිගුරුම් සහිත වැසි

Published

on

By

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved