Connect with us

පුවත්

ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුමට එරෙහි පෙත්සම කැදවන්න නියෝග! 

Published

on

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (05 ) අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජාතික වැදගත්කමක් සහිත නඩුකරයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටද එමගින් චෝදනා කර ඇත.

එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved