Connect with us

පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published

on

මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසය.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් දෙන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳීසිටින ලෙසය.

ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට ද ඊශ්‍රායලය උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයින්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධවෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවය.

ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හමුවෙ ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ද මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “ඔපරේෂන් රයිසින් ලයන්” ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, මිසයිල කම්හල් සහ හමුදා මූලස්ථාන ඉලක්ක වූ බවය.

මෙම දැවැන්ත ප්‍රහාරයට ඉරානය නිසැකවම ප්‍රතිචාර දක්වනු ඇති බැවින් සිය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර සියලු පාසල් වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ මධ්‍යස්ථාන මෙන්ම හමුදා ඉලක්ක වෙතද එල්ලවූ මෙම ප්‍රහාර සිදුකර තිබුණේ ඊශ්‍රායලයට අයත් IAF ජෙට් යානා යොදගනිමිනි.

ඉරානයේ ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය ද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි මියගොස් ඇතැයි ඉරානය මාධ්‍ය වාර්තා කළේය.

ඔහු සැලකෙන්නේ එරට උසස්ම හමුදා නිලධාරියා ද ලෙසය.

එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී තිබුණි.

කෙසේවෙතත් නට්සාන් න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල වූ බවට තහවුරු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි විකිරණ මට්ටම ඉහළ ගොස් නැතැයි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් ඉරානය ඊශ්‍රායලය වෙත ප්‍රහාරක යානා 200ක් පමණ යොමුකර ඇති බවය.

ප්‍රහාරය ඊශ්‍රායලයේ අධම ස්වභාවය පැහැදිලි කරන්නක් බවත්, මෙමගින් ඊශ්‍රායලය සිය රටට අමිහිරි ඉරණමක් සැලසුම් කරගත් බවත්, ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙයිනි ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රහාරය සම්බන්ධව අදහස් පළකළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ මෙය ප්‍රහාරයේ ආරම්භය වන අතර අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම වැළැක්වීම සහ එමගින් සිය ජනතාව ආරක්ෂා කරගැනීම මෙම ප්‍රහාරය සිදුකළ බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අමෙරිකාව පවසන්නේ තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය නොවන සියලු අමෙරිකානුවන්ට එම කලාපයෙන් ඉවතවන ලෙස අමෙරිකාව පසුගියදා නියෝග කළේය.

මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබේ.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved