Connect with us

Uncategorized

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට  IMF අඛණ්ඩ සහාය

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ  අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ  තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය.

ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින්  ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත්  සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසට පැවසීය.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබාදෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ආයෝජකයන්ගේ  විශ්වාසය තහවුරු කිරීම,  ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසීය.

වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා  යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා  ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.

එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී  රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම උත්සාහයන් තිරසාර බවට පත්  කිරීමේ සහ පුළුල්  කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු  යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Continue Reading

Uncategorized

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරේ

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා වෙත ලැබී ඇති බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව රජයේ පාර්ශ්වය විසින් ලබා දුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් S.C. (SD) 05/2025 සහ S.C. (SD) 06/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන නොයෑමට තීරණය කර ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව එතුමාගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම ගරු මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නිවේදනය කළේය. එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවද ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

Continue Reading

Uncategorized

IMF කොන්දේසි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

අද  (01)  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. 

මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. 

අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට අදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි. 

අපිට පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඒක හින්දා තමයි ඉන්දීය අගමැතිවරයා මෙහාට ආවාම පුනර්ජනනීය බළශක්තිය පැත්තෙන් තමයි ගිවිසුම්වලට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ. ඉන්ධන එක්කත් අපිට ගැලපීමක් කරන්න තියෙනවා. ඒක IMF එකත් දන්නවා. අපිට එකපාරටම එතැනට යන්න බැහැ. ඒත් ආණ්ඩුව ආවට පස්සේ අපි ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. 

මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.”

Continue Reading

Uncategorized

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

Published

on

By

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බවය.

පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

තවද මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධවද පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව එම පුවරුව ගලවා ඉවත් කිරීමට මහවෙල පොලීසිය විසින් කටයුතු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved