Connect with us

පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

Published

on

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කරන ලදී.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන  කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත 2025.05.08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී. 

ඒ අනුව 2025.06.05 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සමත්විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කල ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම පනත සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකිවුයේ අන්තර් පළාත් අතර සිදුකෙරෙන පෞද්ගලික බස්රථ ධාවනය පමණක් බව පැවසුවේය.

පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිගු දුර ගමන් බස් රථ භාවිතා කරනු ලබන අවන්හල් නියාමනය කිරීමටත්, බස් රථ වල ප්‍රමිතිය නියාමනය කිරීමටත්, මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේදී එය මිලදී ගන්න පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සඳහා පැවති නීතිමය බාධාවත් සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved