පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

Published

on

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කරන ලදී.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන  කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත 2025.05.08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී. 

ඒ අනුව 2025.06.05 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සමත්විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කල ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම පනත සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකිවුයේ අන්තර් පළාත් අතර සිදුකෙරෙන පෞද්ගලික බස්රථ ධාවනය පමණක් බව පැවසුවේය.

පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිගු දුර ගමන් බස් රථ භාවිතා කරනු ලබන අවන්හල් නියාමනය කිරීමටත්, බස් රථ වල ප්‍රමිතිය නියාමනය කිරීමටත්, මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේදී එය මිලදී ගන්න පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සඳහා පැවති නීතිමය බාධාවත් සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

Trending

Exit mobile version