පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත හෙවත් කුඩු සළිඳු යන දෙදෙනා ඊයේ (14) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන් ප්‍රමාදයක් හා ගුවන්යානය මඟහැරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව මෙරටට ගෙන එන්නේ අද (15) දිනයේ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව මැඩගස්කරයේ සිට හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටත් මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනාටත් හරක් කටා සහ කුඩු සළිඳුට දැඩි ආරක්ෂාවක් ලබා දෙමින් ඊයේ (14) දිනයේ රැඳී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහිදීය.
ඒ සඳහා මුම්බායි පොලිසියෙන් විශාල සහායක් ලබා දී ඇතැයි ද පැවසේ.
එම සහාය ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය මඟිනි.
මාර්තු 01 වැනිදා සිට මැඩගස්කර ආරක්ෂක අංශ භාරයේ සිටි හරක් කටා සහ කුඩු සළිඳු මෙරටින් ගිය සිව් දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් භාරගෙන ඇත්තේ පසුගිය 13 වැනිදාය.
හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන ඒමේ කටයුත්තට මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනකුද සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.
එම නිලධාරීන්ගෙත් ආරක්ෂාව සහිතව මැඩගස්කරයේ සිට මෙම අපරාධකරුවන් දෙදෙනාව ගුවන් මඟින් මුලින්ම රැගෙන ගොස් ඇත්තේ කෙන්යාවට බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
කෙන්යාවේ සිට ඩුබායි ගුවන්තොටුපොළ ඔස්සේ ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් දෙදෙනාට ඩුබායිහි රැඳී සිටීමට වීසා ඇති බැවින් සහ තවත් සුවිශේෂ කරුණු කිහිපයක් මත අවසාන මොහොතේ සැලසුම් වෙනස් කර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට රැගෙන ඒමට තීරණය වී ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඒ අනුව කෙන්යාවේ සිට පෙරේදා (13) ඉන්දියාවේ මුම්බායි වෙත හරක් කටා සහ කුඩු සළිඳුව රැගෙන ගොස් තිබිණි.
කෙන්යාවේ සිට මුම්බායි පැමිණි ගුවන්යානය අනපේක්ෂිත ලෙස ප්‍රමාද වීම හේතුවෙන් මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානය මෙම පිරිසට මඟහැරී ඇති බවද එම තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට මුම්බායි සිට පැමිණීමට නැවත ගුවන් ගමනක් සැලසුම් කිරීමට සිදුවී ඇති බවද මේ අතර වාර්තා වේ.
සබැඳි පුවත්
හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට; මරන්න එපා යැයි ආචනයක්