Connect with us

පුවත්

“සාලිය පීරීස්ට ආරක්‍ෂාව දෙන්න’’

Published

on

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි මහත්වරුන්ගේ අත්සනින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කොට ඇත.

සිය සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධය දක්වා ඇති බවත් නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් එම පිරිස සාලිය පීරීස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධය දක්වා ඇති බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කොට ඇත.

සිය සේවාදායකයකුගේ ඉල්ලීමක් මත ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය සේවාවක් ලබාදීම හේතූවෙන් මේ වන විට සාලිය පීරීස් මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අදාළ ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ ආධිපත්‍යයේ පැවැත්ම සඳහා නීතී වෘත්තීය අත්‍යවශ්‍ය බව අධිකරණ තීන්දුවල සඳහන් බවද අවධාරණය කොට ඇත.

සිය සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට හා ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණ සංවිධාන පනත අනුවද අයිතිය ලබාදී ඇති බව සිය ලිපිය මඟින් අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ වෘත්තීය රාජකාරී වලට බාධා පැමිණවීම වැළැක්වීමට පියවර ගන්නැයිද ඉල්ලා සිටී.

එමෙන්ම ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දීමට පියවර ගන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටී.

(ලංකාදීප)

පුවත්

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 77වන වියේ පසු විය.

දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යය ක්ශේත්‍රයේ කටට්යුතු කල  ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හෙබවීය.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතාය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබෙන ඔහු සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් ය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙක් ලෙසද  හැඳින්වීමට හැකි මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතාය.

ඒ මහතාගේ දේහය හෙට  උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇත.

රංජිත් කුමාර මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා එනම් හෙට උදෑසන 10ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.

Continue Reading

පුවත්

ඩිජිටල් ආර්ථිකයකයක් වෙනුවෙන්  DIGIECON ගෝලීය ආයෝජන සමුළුව

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ශ්‍රි ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සිදු කරනු ලබන “DIGIECON 2023” ව්‍යාපෘතිවට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

“DIGIECON- 2023” ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයට ඩිජිටල් ආයෝජන සමුළුවක් පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා දියත් කර ඇති DIGIECON ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමයි. විශේෂයෙන් මේ හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත තරුණ තරුණියන්ට වගේම පාසල් දරුවන්ටත් තම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට කදිම අවස්ථාවක් උදාවෙනවා.

මෙවර මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන යාමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථාව හිමි වනවා. එම අයෝජන තුළින් අප රටේ සිටින විශේෂ දක්ෂතා සහිත තරුණ තරුණියන් විශේෂ අවස්ථාවක් හිමි වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළින් අද වන විට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන අතර උද්ධමනය ද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජන සඳහා යහපත් පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලියි. එබැවින් මෙම සමුළුව හරහා විදෙස් ආයෝජන රැසක් ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව ලැබෙන බවත් අප විශ්වාස කරනවා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න මහතා,

මේ ආකාරයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමේ අරමුණ අප රටේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ අපේක්ෂාවයි. ඒ වගේම මෙරට තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු ආයතන 850කට වැඩි ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙනවා. දැනටමත් ඇතැම් තරුණ තරුණියන් තම ආයතන හරහා ජාත්‍යන්තර මට්ටමේ ආයතනවල ආයෝජන ලබාගෙන තිබෙනවා. ලෝකයේ ප්‍රමුඛතම ආයතන සමඟ කටයුතු කරන පිරිස් අප රටේ සිටිනවා. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කළ යුතුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන්නේ විශාල ගෝලීය වෙළඳපොළක් බව කිව යුතුයි. එනිසා එහි වැඩි ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් තරුණ ප්‍රජාව දිරිමත් කිරීමද මෙම සමුළුව හරහා අපේක්ෂා කරනවා.

ආයෝජකයින් ආකර්ශනය කර ගත හැකි නව්‍ය ව්‍යාපාර මෙරට තිබෙනවා. ගෝලීය වශයෙන් ආයෝජන අත්පත් කර ගැනීමේ හැකියාවද අපට තිබෙනවා. ඒ සඳහා මෙරට විහිදී තිබෙන තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයට අප අඩිතාලමක් දැමිය යුතුයි. මේ සඳහා රාජ්‍ය දායකත්වය ලැබී තිබෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශ මට්ටමේ සිට තානාපති කාර්යාල දක්වා ආයතනමෙම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙමින් සිටිනවා. ඒ වගේම පෞද්ගලික ආයතන රැසක් ද මේ වෙනුවෙන් සහාය ලබාදීම පිළිබඳ සතුටු විය හැකියි.

මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, MasterCard ආයතනයේ කළමනාකරු සඳුන් හපුගොඩ (ශ්‍රී ලංකාව සහ මාලදිවයින), FITIS ආයතනයේ සභාපති ඉන්දික ද සොයිසා, SLASSCOM ආයතයේ උප සභාපති නිශාන් මෙන්ඩිස්, BCS ආයතනයේ සභාපති ඇලන්සෝ ඩෝල්, CSSL ආයතයේ සභාපති ආචාර්ය අජන්තා අතුකෝරල ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වි සිටියහ.

Continue Reading

පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශනයකට නියෝග

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

එම නියෝගයේ සදහන් වන්නේ  අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද විමර්ශනවලට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දීම සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය සිදු කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved