Connect with us

පුවත්

නෙස්ලේ හි Nido හා Cerelac ගැන ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක්

Published

on

නෙස්ලේ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින ළදරු කිරි සහ ධාන්‍ය නිෂ්පාදන වන Nido හා Cerelac යන නිෂ්පාදන ප්‍රමිතියට තිබේදැයි සොයා බලන ලෙස ඉල්ලා ඉදිරි සතියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිලි කරන බව ජාතික පාරිභෝගික පෙරමුණ කියා සිටී.

ලොව විශාලතම පාරිභෝගික භාණ්ඩ සමාගමක් වන නෙස්ලේ, තරබාරුකම සහ නිදන්ගත රෝග වැළැක්වීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශයන්ට පටහැනිව යමින් බොහෝ දුප්පත් රටවල අලෙවි කරන ළදරු කිරි සහ ධාන්‍ය නිෂ්පාදන සඳහා සීනි සහ මී පැණි එක්කරන බව පර්යේෂණයකින් හෙළිවීම නිසා මේ පැමිණිල්ල සිදුකරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

එසේම නෙස්ලේ හි Nido හා Cerelac ගැන පිළිගත් විදේශීය ආයතනයකින් පරීක්ෂණයක් සිදු කිරීමට සැලැසුම් කරන බවද ඔහු පැවසීය.

නෙස්ලේ යනු ස්විට්සර්ලන්ත බහුජාතික සමාගමකි.

පබ්ලික් අයි (Public Eye) නම් ස්විට්සර්ලන්ත විමර්ශන සංවිධානයක පිරිසක් විසින් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ අලෙවි කරන නෙස්ලේහි ළදරු ආහාර නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කිරීම සඳහා බෙල්ජියම් රසායනාගාරයකට යොමුකර තිබිණි.

වයස අවුරුදු එක සහ ඊට වැඩි ළදරුවන් සඳහා භාවිත කෙරෙන පිටි කිරි වර්ගයක සන්නාමයක් වන Nido සහ මාස හයේ සිට අවුරුදු දෙක දක්වා ළමුන් ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගයක් වන Cerelac සාම්පලවල සුක්‍රෝස් හෝ මී පැණි ආකාරයෙන් සීනි එකතු කර ඇති බව එහිදී අනාවරණ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එක්සත් රාජධානිය ඇතුළු නෙස්ලේහි ප්‍රධාන යුරෝපීය වෙලඳපොළවල කුඩා ළමුන් සඳහා නිකුත් කරන එම කිරිපිටි වර්ගයේ එකතු කළ සීනි තිබිය නොහැකිය.

වැඩිහිටි ළදරුවන් ඉලක්ක කරගත් සමහර ධාන්‍ය වර්ගවල සීනි එකතු කර ඇති අතර, මාස හයේ සිට අවුරුද්දක් දක්වා ළදරුවන් ඉලක්ක කරගත් නිෂ්පාදනවල එලෙස කිසිවක් අඩංගු කර නොමැත.

පබ්ලික් අයි (Public Eye)හි කෘෂිකාර්මික හා පෝෂණ විශේෂඥ ලෝරන්ට් ගේබරල් පවසන්නේ නෙස්ලේ සමාගම විසින් සිදුකරන මෙම භයානක දෙබිඩි පිළිවෙතට වහාම තිත තැබිය යුතු බවයි.

ලොව සෑම ප්‍රදේශයකම අවුරුදු තුනට අඩු ළමුන් සඳහා සියලුම නිෂ්පාදනවලදී සීනි එකතු කිරීම නැවැත්විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල තරබාරුකම මේ වනවිට වඩ වඩාත් ගැටලුවක් බවට පත්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපීය කලාපය සඳහා වන මාර්ගෝපදේශ පවසන්නේ වයස අවුරුදු තුනට අඩු ළමුන්ගේ කිසිදු ආහාරයකට එකතු කළ සීනි හෝ රසකාරකවලට ඉඩ නොදිය යුතු බවයි.

වෙනත් ප්‍රදේශ සඳහා නිශ්චිත මග පෙන්වීමක් ඉදිරිපත් කර නොමැති වුවද පර්යේෂකයන් පවසන්නේ යුරෝපීය මාර්ගෝපදේශ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සමානව අදාළ වන බවයි.

බර වැඩිවීම සහ දත් දිරායාම ඇතුළු අවදානම් නිසා වයස අවුරුදු හතරට අඩු දරුවන් සීනි එකතු කළ ආහාරවලින් වැළකී සිටිය යුතු බව එක්සත් රාජධානිය ද නිර්දේශ කරයි.

එක්සත් ජනපද රජයේ මාර්ගෝපදේශ යටතේ ද අවුරුදු දෙකට වඩා අඩු අය සඳහා සීනි එකතු කරන ලද ආහාර සහ පානවලින් වැළකී සිටීම නිර්දේශ කරයි.

පබ්ලික් අයි (Public Eye) සංවිධානය අන්තර්ජාතික ළදරු ආහාර ක්‍රියාකාරී ජාලය සමඟ සහයෝගීව එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙන්නේ වෙළඳපොළ පර්යේෂණ සමාගමක් වන Euromonitor Internationalහි දත්ත අනුව Cerelac නිෂ්පාදනය ඩොලර් බිලියනයකට වඩා වැඩි ගෝලීය සිල්ලර විකුණුම් සිදුකර ඇති බවයි.

ඉන් ඉහළම විකුණුම් සිදුකර ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන අතර විකුණුම්වලින් 40%ක්ම බ්‍රසීලයේ සහ ඉන්දියාවේ සිදුකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරියකු වන වෛද්‍ය නයිජල් රෝලින්ස් පවසන්නේ මෙම සොයාගැනීම් සාධාරණීකරණය කළ නොහැකි දෙබිඩි පිළිවෙතක් පෙන්නුම් කරන බවයි.

මාස හය සහ ඊට වැඩි ළදරුවන් සඳහා දෙන බිස්කට් සහ රස කළ ධාන්‍ය වර්ග යටතේ සෙනගල් සහ දකුණු අප්‍රිකාවේ සෑම වේලකම එකතු කළ සීනි ග්‍රෑම් 6 අඩංගු බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ විකුණන එම වර්ගයේම නිෂ්පාදනවල සීනි කිසිවක් නැත.

ඉන්දියාවේ අලෙවි කරන Cerelac නිෂ්පාදන පිළිබඳ කළ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ සාමාන්‍යයෙන් සෑම වේලකම එකතු කළ සීනි ග්‍රෑම් 2.7කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරන බවයි.

බ්‍රසීලයේ, Cerelac මුසිලෝන් ලෙස හඳුන්වනු ලබන අතර, නිෂ්පාදන අටෙන් දෙකක් සීනි එකතු කර නොමැති බව සොයා ගන්නා ලදී.

කෙසේවෙතත් අනෙක් හයේ එක් වේලක ග්‍රෑම් හතරකට ආසන්න සීනි ප්‍රමාණයක් අඩංගු වී තිබිණි.

නයිජීරියාවේ, පරීක්ෂා කරන ලද එක් නිෂ්පාදනයක ග්රෑම් 6.8ක් දක්වා සීනි තිබී ඇත.

මේ අතර නෙස්ලේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ පෝෂණ ගුණය ගැන විශ්වාස කරන තම සමාගම දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට අනුවර්තනය වූ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය නිෂ්පාදන සඳහා භාවිත කිරීමට ප්‍රමුඛත්වය දෙන බවයි.

ඉහළින් නියාමනය කරන ළදරු ආහාර කාණ්ඩය තුළ, නෙස්ලේ සෑම විටම දේශීය රෙගුලාසි හෝ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල සීනි අඩංගු කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතය ලේබල් කිරීමේදී නිෂ්පාදනවල සම්පූර්ණ සීනි ප්‍රමාණයන් ප්‍රකාශ කරන බවත් ඇය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් නියාමනය සහ දේශීය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ඇතුළු සාධක මත වට්ටෝරුවල වෙනස්කම් රඳා පවතින බව ද ඇය ප්‍රකාශකර තිබේ.

සුක්‍රෝස් සහ ග්ලූකෝස් සිරප් ලොව පුරා සිටින කුඩා දරුවන් ඉලක්ක කරගත් වර්ධනය සඳහා ලබාදෙන කිරිවලින් ඉවත් කර ඇති බව ද ඇය පැවසුවාය.

මූලාශ්‍රය – The Guardian

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved