බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද (06) කැඳවූ ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම් දීම සිදුකළේය.
ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවත් දන්වා සිටියේය.
එහිදී පරිභෝග සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිලියන 20ක් 25ක් පමණ අමතරව විකුණා විශාල අයුතු ලාභයක් උපයා ගත් බව සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමේදී ආදර්ශ නඩු ගාස්තුවක් නියම කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
අනතුරුව එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු මස 30 වනදා සිදුකරන බවත් අධිකරණයට නියම කළේය.
(අද දෙරණ)