යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කරණ ලද බැරිස්ටා (Barista) අවන්හලේ නාම පුවරුව ගලවා යාපනය මහනගර සභාව විසින් ඉවත් කර තිබේ.
ඊයේ (22) අලුයම් කාලයේදී මේ දැන්වීම් පුවරුව ඉවත් කර ඇති අතර ඒ එම අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වු දැඩි විරෝධතාව නිසා බව පැවසේ.
නිසි ආකාරයෙන් බලපත්‍රයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් යාපනය මහ නගර සභාව විසින් නාම පුවරුව ඉවත් කර ඇතැයි ද පැවසේ.
මෙම බැරිස්ටා නව ශාඛාව විවෘත කර ඇත්තේ යාපනය මහ නගර සභාව ඉදිරිපිටමබවද පැවසේ.
දිලුප පතිරණ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ ධුරය දරන බැරිස්ටා කොෆි ලංකා පුද්ගලික සමාගමේ ශ්‍රී ලංකාව තුළ ශාඛා 60 ක් මේ වන විට පවතින අතර ජනතා විරෝධය එල්ල වු පේදුරුතුඩුව මාර්ගයේ නව ශාඛාවට අමතරව යාපනය රෝහල පාරේද ඔවුන්ගේ කෝපි හලක් තිබේ.
යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි හා යාපනයේ නිර්මාංශික ශිව භක්තිකයන් මැයි 20 වැනිදා දැවැන්ත විරෝධයක් දියත් කරමින් බල කර තිබුනේ යාපනය නල්ලුර් කෝවිලට සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බැරිස්ටා කෝපිහල වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.
නල්ලූර් කෝවිල ඉදිරිපිටින් මැයි 20 වැනිදා විරෝධතා පෙලපාලියක් ආරම්භ කළ නිර්මාංශික හින්දු භක්තිකයන් යාපනය මහ නගර සභාව දක්වා ගොස් මෙම අවන්හල වහාම ඉවත් කරන ලෙස ඉල්ලා තිබු අතර මැයි 21 වැනිදා අත්සන් සියගණනක් සහිත ලිපියක් මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දෙමින් ඔවුන් යළිත් එම ඉල්ලීම සිදු කර තිබේ.
යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පවසන්නේ මෙම අවහන්හල වාර්ගික සහ ආගමික සහජීවනයට බාධාවක් බවයි.
“නල්ලූර් භුමියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස පිහිටුවා ඇති මෙම නිර්මාංශ නොවන අවන්හල වසා දමන ලෙස ඉල්ලා අපි මහ නගර සභාවේ කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කරා. දකුනේ බහුජාතික මාංශ අවන්හලක ශාඛාවක් පිහිටුවීමෙන් වාර්ගික සහජීවනය සහ ආගමික සහජීවනයට බාධා කරන අසාධාරණ ක්‍රියාවක් සිදු කර ඇති බව නල්ලූර් ප්‍රජාව විදිහට අපි දකිනවා.”
විරෝධතාකරුවන් මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දුන් ලිපියේ පිටපත් උතුරු පළාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් ලේකම්, නල්ලුර් ප්‍රාදේශිය සභාවේ ලේකම් හා හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාටද යොමු කර ඇති බව පැවසේ.
ශ්‍රී ලංකාවේ විශාලතම කෝපි අවන්හල් ජාලයකට හිමිකම් කියන බැරිස්ටා සමාගමේ දෙවැනි ශාඛාව යාපනයේ විවෘත කර ඇත්තේ මැයි 9 වැනිදායි.
ඔවුන් එම අවන්හල එම ස්ථානයේ ආරම්භ කර ඇත්තේ යාපනය මහ නගර සභාවේ හෝ නිසි අවසරයක් නොමැති බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරයි.
අවන්හල වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස යාපනය මහ නගර සභාවේ බලධාරීන් එම අවන්හලේ කළමණාකාරීන්ට මැයි 13 වැනිදා වාචිකව දැනුම් දී ඇති බව පවසන යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි සදහන් කරන්නේ තමන්ද එදිනම එම ඉල්ලීම එම ආයතනයේ බලධාරීන්ට විද්‍යුත් තැපැල මගින් යොමු කළ බවයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය නල්ලුර් කෝවිලට මීටර 400 ක් පමණ ඇතින් මෙම අවන්හල ස්ථාපිත කර ඇති අතර එම භුමිය කෝවිලේ ශුද්ධ භුමියට ඇතුලත් බවයි.