ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුල න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දෙන ලදී.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, මැයි 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දෙන ලදී
මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ.
මෙම උපකරණ මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්,ගොඩබෑම්,සෝදිසි කිරීම්,වැටලීම් (VBSS) සම්බන්ධ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර, අන්තරායකර රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින්, ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.
2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.
න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.
මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේදී ඩොලර් 500,000 ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළ අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ ගෝලීය සැපයුම් දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරනලදී.