Connect with us

පුවත්

හෙටත් අපි වැඩ – මහජන සහ ලංකා බැංකු සභාපතිවරු

Published

on

සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අවධාරණය කර තිබේ.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කළහ.

බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානින් සහ නියෝජිතයන් සහභාගී වි සිටියහ.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය එකඟතාව පළ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ සහාය අත්‍යාවශ්‍ය බවත්, රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහරින ලෙස සියලු බැංකු සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්ය.

මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ බදු අයකිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ගතයුතු පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

සමස්ත රටම ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින මේ මොහොතේ අවබෝධයෙන් කටයුතු කරමින් රටේ හෙට දවස යහපත් කර ගැනීමට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය :

මේ රට දැන් තිබෙන්නේ ආර්ථික වශයෙන් ඉතා අසීරු අවස්ථාවකයි. මෙ වැනි අවස්ථාවක වෘතීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයක් ප්‍රකාශ කර තිබෙනවා. ලංකා බැංකුවේ සභාපති ලෙස මම අපගේ කාර්යමණ්ඩලවලින් ඉල්ලා සිටින්නේ හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි. මක්නිසාද යත් අපේ බැංකුවේ ගනුදෙනුකරුවන්ටත් මහඟු සේවයක් ලංකා බැංකුව මගින් සිදු වෙනවා. එක දවසක් හෝ බැංකුව වසා තැබුව හොත් එයින් මුළු රටටම විශාල අපහසුතාවක් දැනෙනවා.

ඒ වගේම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ බදු මුදල් අය කිරීම සහ බදු අනුපාත අඩු කිරිම පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි. එම නිසා අපි මේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සමඟ කතාබහ කර තිබෙනවා. එම ගැටලුවලට විසඳුම් ඉදිරි කෙටි කාලය තුළ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. බැංකුව වෙනුවෙන් සහ බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් රාජකාරියට වාර්තා කරන ලෙස මම අපේ සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය :

හෙට දිනයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් සංවිධානය කර තිබෙන බව අපි දන්නවා . මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස මම ඉල්ලා සිටින්නේ මහජන බැංකුවේ සේවක සේවිකාවන් ලෙස නිසි පරිදි රාජකාරියට වාර්තා කරන්න කියායි. මහජන බැංකුව මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අපි ආර්ථිකය ගෙනියන අතර ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට සේවාවක් සපයනවා. ඒ නිසාම පෙර පරිදි රාජකාරියට වාර්තා කර සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රජයට, රටට, ආර්ථිකයට බලපෑම් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved