පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Trending

Exit mobile version