Connect with us

විශේෂාංග

කොළඹ අයට ගණන් හදන්න, ගමේ අයට අජීර්ණෙ හැදෙන 2023 අයවැය

Published

on

හැම අවුරුද්දකම ආණ්ඩුව වෙනුවෙන් මුදල් ඇමතිවරයා ඊළඟ අවුරුද්ද සඳහා ඉලක්කම් තොගයක් එක්ක වාර්ෂික අයවැයක් කියලා හෑල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒවා එකතු කරගෙන කොළඹ මැදපංතිකයින් සහ ආර්ථික විශේෂඥයින් ඒ ඉලක්කම් එකතු කරන, අඩුකරන බෙදන විද්වත් සංවාද සතියක් දෙකක් පවත්වනවා. ගමේ දුප්පතුන් අහුවෙන දෙයක් කාලා ඊළග දවසේ අජීර්ණේට බෙහෙත් හොයනවා. මෙදා ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2023 අයවැයේ තියෙන්නේ පොඩි වෙනසයි. නගරේ දුප්පතුන්ටයි ගමේ බහුතරයටයි මෙදා අජීර්ණේට බෙහෙත් හොයන්න, යන්න එන්න තැනක්වත් ඉතිරිකරලා නැහැ වගෙයි.

අයවැය ගැන කියනවා නම්, මානව හිමිකම් සංවිධාන වැදගත් කාරණාවක් ලෙස බරක් නොතිබ්බට, සිංහල මන්ත්‍රීවරුන්ට වගක්වත් නොතිබුණාට, දෙමළ මන්ත්‍රීවරුන්ට ඇත්ත ගැටළුවක් වෙන්නේ යුද්ධය අවසන් කෙරුණු 2009 න් පස්සේ හැම අවුරුද්දෙම වැඩි කළ ආරක්ෂක වියදම් වික්‍රමසිංහ ජනාධිපති විසින් මහජන ආරක්ෂාවත් සමග 2023 අවුරුද්දට රුපියල් බිලියන 539 ක් දක්වා වැඩිකර තිබීමයි. මහජන වියදම් අඩු කළ යුතුව තිබියදී යුද්ධයක් කරැල්ලක් නැති රටකට මෙපමණ විශාල වියදමක් මොනවටදැයි යන්න ඇත්ත ප්‍රශ්නයක්. ඒකට වික්‍රමසිංහගේ නොකියන උත්තරය තමයි ඔහු ඉදිරි කාලයේ රාජ්‍ය මර්දනය තව දැඩිව ක්‍රියාත්මක කරන්න වෙයි කියලා ගණන් බැලීම.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුවන ස.ජ.බ ගෝෂක මරික්කාර් කියා තිබුණේ මේක බොල් අයවැයක් කියලා. වැදගත් කිසිවක් එහි නැතැයි කියපු මරික්කාර්ගේ විස්තරයට අනුව, අයවැයෙහි ඇතැම් දත්ත ව්‍යාජ දත්ත. වැඩසටහන් සමහරක් ප්‍රායෝගික නැහැ. කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර හා අපනයන සඳහා කිසිදු දිරි ගැන්වීමක් නැහැ. අපනයනකරුවන්ට පැනවූ බදු වහා අඩු කළ යුතුයි. ස.ජ.බයේ පමණක් නෙවෙයි, රටේම ආර්ථික විද්‍යා ඔස්තාර් වශයෙන් පෙනී සිටින හර්ෂා ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ ජනාධිපති ඉදිරිපත් කළ 2023 අයවැයෙහි “ආර්ථික ප්‍රතිසංස්කරණ” ඉතා නිවැරදි යැයි කියලා. ජනාධිපතිගේ ආර්ථික ලිබරල්වාදය අනර්ගයැයි කියුව හර්ෂා අහලා තිබුණේ “නමුත් කෝ ඔබගේ දේශපාලන ලිබරල්වාදය” කියලා.

ලිබරල් ආර්ථිකයක් කියලා හර්ෂ වර්ණනා කරන මේ ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය සමග හර්ෂලා කතා කරන “සමාජීය වෙළඳපල ආර්ථික” නිකම් තොරොම්බල් කතා පමණයි. මේ දූෂිත ජාවාරම්කාර ආර්ථිකයේ පාරිභෝගික නිදහසක් කියලා වෙළඳපල තේරීමේ නිදහසක් තියෙන්නේ නගරයේ මැදපංතික හා ඉහළ පැලැන්තියේ අයට පමණයි. ඉන් එහාට මේ ජාවාරම්කාර ආර්ථිකය වැදගත් විදියට පුළුල් කරන්න බැහැ. ඒ නිසා අනෙක් අති බහුතරය ඉන්නේ වෙළඳපල වාටියේ. ඔවුන්ට අහුලන්න තියෙන්නේ සිල්ලර අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික විතරයි. නමුත් ඒවත් ඔවුන්ගේ මිලට නෙවෙයි. මැදපංතිකයින්ගේ මිලට.

මේ අයවැය රටට අදාල වන්නේ මරික්කාර්වත් හර්ෂවත් කතා කරන දූෂිත ආර්ථිකය නැවත හැදීමේ ලිබරල්වාදයකට නෙවෙයි. එයාලගේ පැලැන්තියේ නගරවාසීන්ගේ සාකච්ඡාවල සංවාදවල කෙරෙන ගණන් හැදීම්වත් නෙවෙයි. මේකේ කතා කරන්න තියෙන්නේ මේ අයවැය යෝජනා කොයිතරම් දුරකට අප හසුවෙලා ඉන්න දැවැන්ත අර්බුදයෙන් ගොඩ එන්නට අපට උදව්වේද කියන කතාවයි. ණයටවත් සොයා ගන්න බැරි ඩොලර ප්‍රමාණය උපයා ගැනීමට අයවැයෙන් කෙරෙන යෝජනා මොනවද කියන කතාවයි.

මේ රටට නැතුවම බැරි, ඉතාම අත්‍යාවශ්‍ය ඉන්ධන, එල්.පී ගෑස්, ඖෂධ, දෛනික පරිභෝජනයට අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ පිරටින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය අවම ඩොලර ප්‍රමාණය ණයටවත් හොයා ගැනීමට නොහැකි බංකොලොත් තත්ත්වයකටයි අපව පත්කරලා තියෙන්නේ. සාමාන්‍ය මිනිසා මුහුණ දෙන අර්බුදය ඒකයි. වික්‍රමසිංහලා, නන්දලාල්ලා, හර්ෂලා කතා කරන ආර්ථිකය ඒ සඳහාවත් ඩොලර් උපයා ගන්න හැකි ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා හැම අවුරුද්දෙම ආනයන – අපනයන වෙළඳ හිඟය පියව ගන්න අපට ඩොලර ණයට ගන්න සිද්ධ වුනා. ඊට අමතරව පසුගිය දසකයකට වැඩි කාලයේ යටිතල පහසුකම් දියුණු කරන්න කියලා ඕනේ ඒවටයි, එපා ඒවටයි කර තියන්න බැරි තරම් බරට ආණ්ඩු ඩොලර ණයට ගත්තා.

දේශීය ආර්ථිකයත් පාඩු ලබන ආර්ථිකයක්. ඒකේ අයවැය හිඟය පියවා ගන්නත් රුපියල් ණයට ගන්න සිද්ධ වුනා. ආණ්ඩු ගණන් හැදුව දේශීය ආදායම් කවමදාවත් එකතු වුනේ නැහැ. ලොකු ජාවාරම්කාරයින් බදු ගෙව්වේ නැහැ. බදු ගෙවන අයත් නිවැරිදව ඒ බදු ගෙව්වා කියලා මම හිතන්නෙ නැහැ. ආණ්ඩු පක්ෂ බදු නොගෙවන ජාවාරම්කාරයින්ට දඩ ගසා බදු එකතු කරන්න කවදාවත් උනන්දු වුනේ නැහැ. ඒ වෙනුවට පොඩි මිනිහත් වටකරන වක්‍ර බදු පනවලා ආදායම් එකතු කරන්න තමයි හැම ආණ්ඩු පක්ෂයක්ම පියවර ගත්තේ. ජයවර්ධන 78 පටන් ගත්ත මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැම ආණ්ඩුවක්ම තල්ලු කරගෙන ආවේ ණයට.

මේ 2023 අයවැය මගින් මුදල් සෙවිය යුතු දැනට ගෙවන්න තියෙන ණය පොලී ප්‍රමාණය රුපියල් බිලියන 2,193 යි. ඒ වාර්ෂික අයවැය හිඟය එකතු කරන්නේ නැතිවයි. ඒකත් එකතු කළ විට මුළු ගණන රුපියල් බිලියන 2,404 යි. ඊට අමතරව, කලින් ගත් ණය ගෙවන්නත් තියෙනවා. ඒවා එකතු කළ විට 2023 අවුරුද්දේ ආණ්ඩුවට රුපියල් බිලියන 7,879 ක ආදායමක් හොයන්න වෙනවා.

ඩොලර ණය ගෙවීම් ඊටත් වඩා බරපතල්. දැනට ගණන් හදන ආකාරයට 2023 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර මිලියන 50,000 ක් පමණ වෙන්න ඉඩ තියෙනවා. ඒවා ගෙවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර දෙන්නේ නැහැ. ජා.මූ.අරමුදලින් ඉදිරි අවුරුදු 03 ට ලැබෙන්නේ උපරිම ඩොලර බිලියන 02.9 යි. ඒකත් කොටස් වශයෙන්. එනිසා 2023 දී ඩොලර බිලියනයකට (මිලියන දහක්) වඩා ලැබෙන එකක් නැහැ. ඒ මුදල් දේශීය වියදම් සඳහා යොදා ගන්නට අවසර ලැබුණත් නැතත් විදේශ ඩොලර ණය තොගේට ඉතිරි වෙනවා.

මේ ඩොලර ණය පියවන ක්‍රමයක් තියා ලබන අවුරුද්දේ ආනයන අපනයන වෙළඳ ශේෂය පියවීම සඳහා විදේශ විනිමය ඉපැයීමේ ප්‍රායෝගික යෝජනාවත් මේ අයවැයේ කොතැනකවත් නැහැ. ලංකාවට පැමිණෙන සංචාරකයින් ලක්ෂ ගණනින් වැඩි කරන යෝජනා අන්තිම මුලාවක්. සංචාරක ව්‍යාපාරයෙන් ලබන ආදායම් ඇස්තමේන්තු ව්‍යාජ ඇස්තමේන්තු. කාමර පිරුණට බහුතරයක් සංචාරකයින් චූන් පාන් පස්සේ දුවන, කිඹුලා බනිස් කන කට්ටිය. ඒ අය අපේ රටේ වියදම් කරන ඩොලර ගාණ කොහෙවත් ගණන් හැදෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය දියුණු කරන කතා වලින් කෙරෙන්නේ දේශපාලන වාසි සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ජාවාරම්කාරයන්ට බදු සහන ලබාදීම පමණයි.

විදේශ සංක්‍රමණික ශ්‍රමිකයින් මගින් ඩොලර ගෙන්වා ගැනීමත් හිඟන වැඩක්. රටේ මිනිසුන් ගැහැණුන් පිටරට පටවලා ඩොලර හොයනවා කියන්නේ, කරන්නට කිසිවක් නැති වුනාම ගෙදර ඉන්න පොඩි එවුන්ට කන්න දෙන්න තරුණ මවක් තමන්ගේ සිරුර විකුණනවා වගේ වැඩක්. දැනට සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් උපයා ගන්න ඩොලර ප්‍රමාණය පසුගිය වසරවල සාමාන්‍යයක් වශයෙන් මිලියන 600 ක් පමණ වෙන්නේ. ගමේ අහිංසක තරුණ තරුණියන් පිටරට වලට යවලා ඒ මුදල දෙගුණ කර ගන්න වෙන්නේ නැහැ. ඒකට කොළඹ මැදපංතික නෝනලා පිටරට යවලා පුළුවන් වෙයිද කියන එකත් සැකයි.

ලොකුවට කතා කරන ජා.මූ. අරමුදලේ සහාය කියන්නේ දේශීය ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ බදු අයකිරීම් වෙනුවෙන් ඇති පොරොන්දු පමණයි. ඒවාට අදාල අයවැය යෝජනා සමග පාසල් 1,000 ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීම, විශ්ව විද්‍යාලවල උපාධි සඳහා ගුණත්ව සහතික හා පිළිගැනීමේ මණ්ඩලයක් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් ලබා දීම, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීම වැනි ජනප්‍රිය නමුත් නෙකෙරෙන යෝජනා තමයි අයවැයේ තියෙන්නේ. අයවැයේ තියෙන යෝජනා වලින් නිශ්චිතව උපයාගත හැකි විදේශ විනිමය කොපමණදැයි කිව හැකි ආර්ථික විශේෂඥයෙකු ඉන්නවාදැයි මම දන්නේ නැහැ.

මේ 2023 අයවැයෙන් ජා.මූ.අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් අවසන් වශයෙන් කෙරෙන්නේ තව වටයක් ඩොලර ණය ගැනීමට බටහිර බලවතුන්ගේ සහාය සමග ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පොඩි උසස්වීමක් ලබා ගැනීම පමණයි. වෙනත් ප්‍රයෝජනවත් කිසිවක් ජා.මූ.අරමුදලේ සහායෙන් සිදුවන්නෙත් නැහැ. මේ අයවැයෙන් සිදුවන්නෙත් නැහැ.

ඒ නිසා කොළඹ ඉහළ පැලැන්තියත් ජාවාරම්කාර ව්‍යාපාරිකයිනුත් ඒ ආශ්‍රිතව සුවපහසු යැපීම් ක්‍රම නඩත්තු කරන වෘත්තික පිරිසුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් මුදල් ඇමති වික්‍රමසිංහ 2023 අයවැය කියලා ඉදිරිපත් කළ යෝජනාවල ඔවුන්ට අදාලවන අයුරු ගුණ දොස් සංවාදයට ගන්නා නමුත්, දැනටත් බාගෙට හාමතේ ඉන්නා බහුතර ජනතාවට සිදුවෙන්නේ අයවැයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන බදු නිසා තව වරක් ඉහළ නගින බඩු මිල, ප්‍රවාහන, විදුලිය හා සේවා ගාස්තු නිසා අතට අහුවෙන දෙයක් කාලා මේ ආර්ථික අජීරණේට බෙහෙත් ඉල්ලා විලාප දෙන්න විතරයි.

– කුසල් පෙරේරා

2022 නොවැම්බර 16

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved