හැම අවුරුද්දකම ආණ්ඩුව වෙනුවෙන් මුදල් ඇමතිවරයා ඊළඟ අවුරුද්ද සඳහා ඉලක්කම් තොගයක් එක්ක වාර්ෂික අයවැයක් කියලා හෑල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒවා එකතු කරගෙන කොළඹ මැදපංතිකයින් සහ ආර්ථික විශේෂඥයින් ඒ ඉලක්කම් එකතු කරන, අඩුකරන බෙදන විද්වත් සංවාද සතියක් දෙකක් පවත්වනවා. ගමේ දුප්පතුන් අහුවෙන දෙයක් කාලා ඊළග දවසේ අජීර්ණේට බෙහෙත් හොයනවා. මෙදා ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2023 අයවැයේ තියෙන්නේ පොඩි වෙනසයි. නගරේ දුප්පතුන්ටයි ගමේ බහුතරයටයි මෙදා අජීර්ණේට බෙහෙත් හොයන්න, යන්න එන්න තැනක්වත් ඉතිරිකරලා නැහැ වගෙයි.
අයවැය ගැන කියනවා නම්, මානව හිමිකම් සංවිධාන වැදගත් කාරණාවක් ලෙස බරක් නොතිබ්බට, සිංහල මන්ත්‍රීවරුන්ට වගක්වත් නොතිබුණාට, දෙමළ මන්ත්‍රීවරුන්ට ඇත්ත ගැටළුවක් වෙන්නේ යුද්ධය අවසන් කෙරුණු 2009 න් පස්සේ හැම අවුරුද්දෙම වැඩි කළ ආරක්ෂක වියදම් වික්‍රමසිංහ ජනාධිපති විසින් මහජන ආරක්ෂාවත් සමග 2023 අවුරුද්දට රුපියල් බිලියන 539 ක් දක්වා වැඩිකර තිබීමයි. මහජන වියදම් අඩු කළ යුතුව තිබියදී යුද්ධයක් කරැල්ලක් නැති රටකට මෙපමණ විශාල වියදමක් මොනවටදැයි යන්න ඇත්ත ප්‍රශ්නයක්. ඒකට වික්‍රමසිංහගේ නොකියන උත්තරය තමයි ඔහු ඉදිරි කාලයේ රාජ්‍ය මර්දනය තව දැඩිව ක්‍රියාත්මක කරන්න වෙයි කියලා ගණන් බැලීම.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුවන ස.ජ.බ ගෝෂක මරික්කාර් කියා තිබුණේ මේක බොල් අයවැයක් කියලා. වැදගත් කිසිවක් එහි නැතැයි කියපු මරික්කාර්ගේ විස්තරයට අනුව, අයවැයෙහි ඇතැම් දත්ත ව්‍යාජ දත්ත. වැඩසටහන් සමහරක් ප්‍රායෝගික නැහැ. කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර හා අපනයන සඳහා කිසිදු දිරි ගැන්වීමක් නැහැ. අපනයනකරුවන්ට පැනවූ බදු වහා අඩු කළ යුතුයි. ස.ජ.බයේ පමණක් නෙවෙයි, රටේම ආර්ථික විද්‍යා ඔස්තාර් වශයෙන් පෙනී සිටින හර්ෂා ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ ජනාධිපති ඉදිරිපත් කළ 2023 අයවැයෙහි “ආර්ථික ප්‍රතිසංස්කරණ” ඉතා නිවැරදි යැයි කියලා. ජනාධිපතිගේ ආර්ථික ලිබරල්වාදය අනර්ගයැයි කියුව හර්ෂා අහලා තිබුණේ “නමුත් කෝ ඔබගේ දේශපාලන ලිබරල්වාදය” කියලා.
ලිබරල් ආර්ථිකයක් කියලා හර්ෂ වර්ණනා කරන මේ ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය සමග හර්ෂලා කතා කරන “සමාජීය වෙළඳපල ආර්ථික” නිකම් තොරොම්බල් කතා පමණයි. මේ දූෂිත ජාවාරම්කාර ආර්ථිකයේ පාරිභෝගික නිදහසක් කියලා වෙළඳපල තේරීමේ නිදහසක් තියෙන්නේ නගරයේ මැදපංතික හා ඉහළ පැලැන්තියේ අයට පමණයි. ඉන් එහාට මේ ජාවාරම්කාර ආර්ථිකය වැදගත් විදියට පුළුල් කරන්න බැහැ. ඒ නිසා අනෙක් අති බහුතරය ඉන්නේ වෙළඳපල වාටියේ. ඔවුන්ට අහුලන්න තියෙන්නේ සිල්ලර අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික විතරයි. නමුත් ඒවත් ඔවුන්ගේ මිලට නෙවෙයි. මැදපංතිකයින්ගේ මිලට.
මේ අයවැය රටට අදාල වන්නේ මරික්කාර්වත් හර්ෂවත් කතා කරන දූෂිත ආර්ථිකය නැවත හැදීමේ ලිබරල්වාදයකට නෙවෙයි. එයාලගේ පැලැන්තියේ නගරවාසීන්ගේ සාකච්ඡාවල සංවාදවල කෙරෙන ගණන් හැදීම්වත් නෙවෙයි. මේකේ කතා කරන්න තියෙන්නේ මේ අයවැය යෝජනා කොයිතරම් දුරකට අප හසුවෙලා ඉන්න දැවැන්ත අර්බුදයෙන් ගොඩ එන්නට අපට උදව්වේද කියන කතාවයි. ණයටවත් සොයා ගන්න බැරි ඩොලර ප්‍රමාණය උපයා ගැනීමට අයවැයෙන් කෙරෙන යෝජනා මොනවද කියන කතාවයි.
මේ රටට නැතුවම බැරි, ඉතාම අත්‍යාවශ්‍ය ඉන්ධන, එල්.පී ගෑස්, ඖෂධ, දෛනික පරිභෝජනයට අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ පිරටින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය අවම ඩොලර ප්‍රමාණය ණයටවත් හොයා ගැනීමට නොහැකි බංකොලොත් තත්ත්වයකටයි අපව පත්කරලා තියෙන්නේ. සාමාන්‍ය මිනිසා මුහුණ දෙන අර්බුදය ඒකයි. වික්‍රමසිංහලා, නන්දලාල්ලා, හර්ෂලා කතා කරන ආර්ථිකය ඒ සඳහාවත් ඩොලර් උපයා ගන්න හැකි ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා හැම අවුරුද්දෙම ආනයන – අපනයන වෙළඳ හිඟය පියව ගන්න අපට ඩොලර ණයට ගන්න සිද්ධ වුනා. ඊට අමතරව පසුගිය දසකයකට වැඩි කාලයේ යටිතල පහසුකම් දියුණු කරන්න කියලා ඕනේ ඒවටයි, එපා ඒවටයි කර තියන්න බැරි තරම් බරට ආණ්ඩු ඩොලර ණයට ගත්තා.
දේශීය ආර්ථිකයත් පාඩු ලබන ආර්ථිකයක්. ඒකේ අයවැය හිඟය පියවා ගන්නත් රුපියල් ණයට ගන්න සිද්ධ වුනා. ආණ්ඩු ගණන් හැදුව දේශීය ආදායම් කවමදාවත් එකතු වුනේ නැහැ. ලොකු ජාවාරම්කාරයින් බදු ගෙව්වේ නැහැ. බදු ගෙවන අයත් නිවැරිදව ඒ බදු ගෙව්වා කියලා මම හිතන්නෙ නැහැ. ආණ්ඩු පක්ෂ බදු නොගෙවන ජාවාරම්කාරයින්ට දඩ ගසා බදු එකතු කරන්න කවදාවත් උනන්දු වුනේ නැහැ. ඒ වෙනුවට පොඩි මිනිහත් වටකරන වක්‍ර බදු පනවලා ආදායම් එකතු කරන්න තමයි හැම ආණ්ඩු පක්ෂයක්ම පියවර ගත්තේ. ජයවර්ධන 78 පටන් ගත්ත මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැම ආණ්ඩුවක්ම තල්ලු කරගෙන ආවේ ණයට.
මේ 2023 අයවැය මගින් මුදල් සෙවිය යුතු දැනට ගෙවන්න තියෙන ණය පොලී ප්‍රමාණය රුපියල් බිලියන 2,193 යි. ඒ වාර්ෂික අයවැය හිඟය එකතු කරන්නේ නැතිවයි. ඒකත් එකතු කළ විට මුළු ගණන රුපියල් බිලියන 2,404 යි. ඊට අමතරව, කලින් ගත් ණය ගෙවන්නත් තියෙනවා. ඒවා එකතු කළ විට 2023 අවුරුද්දේ ආණ්ඩුවට රුපියල් බිලියන 7,879 ක ආදායමක් හොයන්න වෙනවා.
ඩොලර ණය ගෙවීම් ඊටත් වඩා බරපතල්. දැනට ගණන් හදන ආකාරයට 2023 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර මිලියන 50,000 ක් පමණ වෙන්න ඉඩ තියෙනවා. ඒවා ගෙවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර දෙන්නේ නැහැ. ජා.මූ.අරමුදලින් ඉදිරි අවුරුදු 03 ට ලැබෙන්නේ උපරිම ඩොලර බිලියන 02.9 යි. ඒකත් කොටස් වශයෙන්. එනිසා 2023 දී ඩොලර බිලියනයකට (මිලියන දහක්) වඩා ලැබෙන එකක් නැහැ. ඒ මුදල් දේශීය වියදම් සඳහා යොදා ගන්නට අවසර ලැබුණත් නැතත් විදේශ ඩොලර ණය තොගේට ඉතිරි වෙනවා.
මේ ඩොලර ණය පියවන ක්‍රමයක් තියා ලබන අවුරුද්දේ ආනයන අපනයන වෙළඳ ශේෂය පියවීම සඳහා විදේශ විනිමය ඉපැයීමේ ප්‍රායෝගික යෝජනාවත් මේ අයවැයේ කොතැනකවත් නැහැ. ලංකාවට පැමිණෙන සංචාරකයින් ලක්ෂ ගණනින් වැඩි කරන යෝජනා අන්තිම මුලාවක්. සංචාරක ව්‍යාපාරයෙන් ලබන ආදායම් ඇස්තමේන්තු ව්‍යාජ ඇස්තමේන්තු. කාමර පිරුණට බහුතරයක් සංචාරකයින් චූන් පාන් පස්සේ දුවන, කිඹුලා බනිස් කන කට්ටිය. ඒ අය අපේ රටේ වියදම් කරන ඩොලර ගාණ කොහෙවත් ගණන් හැදෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය දියුණු කරන කතා වලින් කෙරෙන්නේ දේශපාලන වාසි සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ජාවාරම්කාරයන්ට බදු සහන ලබාදීම පමණයි.
විදේශ සංක්‍රමණික ශ්‍රමිකයින් මගින් ඩොලර ගෙන්වා ගැනීමත් හිඟන වැඩක්. රටේ මිනිසුන් ගැහැණුන් පිටරට පටවලා ඩොලර හොයනවා කියන්නේ, කරන්නට කිසිවක් නැති වුනාම ගෙදර ඉන්න පොඩි එවුන්ට කන්න දෙන්න තරුණ මවක් තමන්ගේ සිරුර විකුණනවා වගේ වැඩක්. දැනට සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් උපයා ගන්න ඩොලර ප්‍රමාණය පසුගිය වසරවල සාමාන්‍යයක් වශයෙන් මිලියන 600 ක් පමණ වෙන්නේ. ගමේ අහිංසක තරුණ තරුණියන් පිටරට වලට යවලා ඒ මුදල දෙගුණ කර ගන්න වෙන්නේ නැහැ. ඒකට කොළඹ මැදපංතික නෝනලා පිටරට යවලා පුළුවන් වෙයිද කියන එකත් සැකයි.
ලොකුවට කතා කරන ජා.මූ. අරමුදලේ සහාය කියන්නේ දේශීය ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ බදු අයකිරීම් වෙනුවෙන් ඇති පොරොන්දු පමණයි. ඒවාට අදාල අයවැය යෝජනා සමග පාසල් 1,000 ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීම, විශ්ව විද්‍යාලවල උපාධි සඳහා ගුණත්ව සහතික හා පිළිගැනීමේ මණ්ඩලයක් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් ලබා දීම, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීම වැනි ජනප්‍රිය නමුත් නෙකෙරෙන යෝජනා තමයි අයවැයේ තියෙන්නේ. අයවැයේ තියෙන යෝජනා වලින් නිශ්චිතව උපයාගත හැකි විදේශ විනිමය කොපමණදැයි කිව හැකි ආර්ථික විශේෂඥයෙකු ඉන්නවාදැයි මම දන්නේ නැහැ.
මේ 2023 අයවැයෙන් ජා.මූ.අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් අවසන් වශයෙන් කෙරෙන්නේ තව වටයක් ඩොලර ණය ගැනීමට බටහිර බලවතුන්ගේ සහාය සමග ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පොඩි උසස්වීමක් ලබා ගැනීම පමණයි. වෙනත් ප්‍රයෝජනවත් කිසිවක් ජා.මූ.අරමුදලේ සහායෙන් සිදුවන්නෙත් නැහැ. මේ අයවැයෙන් සිදුවන්නෙත් නැහැ.
ඒ නිසා කොළඹ ඉහළ පැලැන්තියත් ජාවාරම්කාර ව්‍යාපාරිකයිනුත් ඒ ආශ්‍රිතව සුවපහසු යැපීම් ක්‍රම නඩත්තු කරන වෘත්තික පිරිසුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් මුදල් ඇමති වික්‍රමසිංහ 2023 අයවැය කියලා ඉදිරිපත් කළ යෝජනාවල ඔවුන්ට අදාලවන අයුරු ගුණ දොස් සංවාදයට ගන්නා නමුත්, දැනටත් බාගෙට හාමතේ ඉන්නා බහුතර ජනතාවට සිදුවෙන්නේ අයවැයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන බදු නිසා තව වරක් ඉහළ නගින බඩු මිල, ප්‍රවාහන, විදුලිය හා සේවා ගාස්තු නිසා අතට අහුවෙන දෙයක් කාලා මේ ආර්ථික අජීරණේට බෙහෙත් ඉල්ලා විලාප දෙන්න විතරයි.
– කුසල් පෙරේරා
2022 නොවැම්බර 16