ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණේ අභිමානවත් අතීතයකි. ඒ අතීතය තුළ සනත් ජයසුරිය අපේ ජිවිතේ පෙරළිකාර ක්‍රීඩකයා බවට පත්විය. කාලය විසින් අපේ ක්‍රිකට් පිටියට පයා ආවේ අඳුරු වළාවකි. ඒ අඳුරු වළපටල අතුරින් අපේ කාන්තා ක්‍රිකට් පිළ රිදි රේඛාවක් සේ පා එයි.
එදා සනත් ජයසුරියට හිමි වූ ප්‍රසාදය නොදෙවැනි වූ ප්‍රසාදයක් අද හිමිකරගෙන ඇත්තේ චමරි අතපත්තු ය.
මේ වනවිටත් චමරි ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත් වී හමාරය. ඇය මේ ඉලක්කය වෙත ළඟාවුයේ මහත් කැපවීමකිනි. චමරි මේ වනවිටත් එක්දින ශතක 9ක් සහ විස්සයි විස්ස ශතක තුනක් සමඟ ශතක දොළහක් තම නම ඉදිරියේ රන් අකුරින් සටහන් කරගෙන තිබේ.
චමරිගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන දැන් මුළු ලොවම දනියි. ඇයගේ දස්කම් විස්කම් ගැන මුළු ලොවම මවිත වන මොහොතේ ඇය ගැන වඩාත් ආඩම්බර වන්නේ ඇය මෙලොවට බිහි කළ ආදරණීය මවයි. තම ලෙය කිරිකර පොවා ඒ ශක්තියෙන් මුළු රටටම අභිමානයක් ගෙනෙන මොහොතක චමරීගේ ආදරණීය මව චන්ද්‍ර අතපත්තු මහත්මිය අපට හමුවුයේ රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති 20 – 20 කාන්තා ක්‍රිකට් තරඟාවලි නැරඹුමට පැමිණි මොහොතේදීය.
වසර 15කට පසු තම දියණියගේ දස්කම් දැකීමට පැමිණි එදින තරඟය චමරීට පමණක් නොව මුළු රටටම සුවිශේෂි තරඟයක් විය. මේ තරඟයේදි මුළු ක්‍රීඩා පිටියේම අනසක පතුරුවමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ චමරී තම තුන්වැනි ශතකය වාර්තා කළේ තම මවගේ නෙතට සතුටු කඳුළු නංවමිනි. මෙලෙසින් තම දියණියගේ දස්කම් දකින්නට වසර 15 කට පසු පැමිණීම ගැන ද චමරි තම ජයග්‍රහණයෙන් පසුව රටටම පැවැසුවේ ඉමහත් සතුටකිනි. මේ සතුටු පිරි ජයග්‍රහණයේ පසුපස වූ සංවේදී කතාව ගැන චමරීගේ මව තම සිතෙහි තෙරපෙන අභිමානය ගැන සඳහන් කළේ නෙතඟ වූ කඳුළු සඟවාගෙනය.
‘මම දැන් දුව සෙල්ලම් කරනවා බලන්න එන්නේ බොහෝම කලාතුරකින්. හුඟාක් වේලාවට එයා සෙල්ලම් කරනවා බලන්නේ ටීවී එකෙන්. ඒත් මේ තරගය බලන්න එන්නම කියලා දුවත් මට කිව්වා. එයා සෙල්ලම් කරනවා දැක්කාහම මට ඇති වුණේ පුදුම සතුටක්. ඒ සතුට අම්මා කෙනෙක් හැටියට මට ලැබුණු වාසනාවක් කියලා මම හිතනවා. චුටි මේ තරගයේදී ලකුණු සීයක් ගත්තා. චුටි දුව සීය ගහලා බැට් එක උස්සද්දී මගේ ඇස්වලට කඳුළු පිරුණා.
මගේ දුව පුංචි කාලේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. එයා ක්‍රීඩා කරන්න පටන් ගත්තේ අවුරුදු 5 – 6 කාලයේදී. අපට ඉන්නේ චමරි දුව විතරයි. ඒ නිසා එයා පුංචි කාලේ සෙල්ලම් කළේ අහළ පහළ දරුවොත් එක්ක. ඒ කාලේ පටන්ම දුව ක්‍රීඩාවට දක්ෂයි. අපේ මල්ලි කෙනෙක් හිටියා චන්ද්‍ර දිසානායක කියලා. එයා තමයි දුවගේ දස්කම් දැකලා මුලින්ම එයාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ.
චමරි අපට හිටිය එකම දුව නිසා මම ගෙදරට කියන්නේ චුටි දුව කියලා. තාත්තා කියන්නේ පුතා කියලා. එයා මුලින්ම ඉගෙන ගත්තේ ගොකරැල්ල ජාතික පාසලේ. ඊට පස්සේ තමයි ඉබ්බාගමුව ජාතික පාසලට ඇතුළත් කළේ. එදා මගේ සැමියා දුව වෙනුවෙන් සෑහෙන්න කැප වුණා. එයා දුව සෙල්ලම් කරනකොට හැම තැනම එක්ක ගියා. එයා දුවගේ දස්කම් දැකලා මට වඩා සතුටු වුණා. නමුත්… එයා නොසිතපු වෙලාවක අපෙන් වෙන් වුණා.‘
ඇය චමරීගේ පියා සිහිවෙන විට නොතුඟ කඳුලින් පිරී ගියේය. ඒ ගැන පවසන විට එම හැඟුම්බර වූ මොහොතේ ඇයට කතා කරගන්නට ද නොහැකි විය. මොහොතක් නිහඬව සිටි ඇය නැවතත් අප සමඟ පිළිසඳරට එක් වුයේ දුවගේ දස්කම් ගැන නැවතත් සිහිපත් කරමිනි.
‘ඉස්සර නම් චුටි දුව සෙල්ලම් කරන මැච් බලන්න මම ගියා. නමුත් දැන් මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා යන්න එන්න අපහසුයි. ඒ නිසා මට දැන් කොළඹ තියෙන තරඟ බලන්න එන්න විදිහක් නැහැ. ඒකයි මම අවුරුදු 15කට පස්සේ මේ තරඟය බලන්න ආවේි. අපට දඹුල්ල ළඟයිනේ… ඒ නිසා මේ තරඟය බලන්න එන්නම කියලා දුවත් මට කිව්වා. අද අප්පචිත් හිටියා නම් එයාත් මේ තරගය බලන්න එයි. එයා තමයි ඉතිං මට වඩා දුවගේ තරග බලන්න අසා. දුව අප්පපච්චි නැති වුණාට පස්සේ තරඟවටල යන්න ටිකක් අදිමදි කළා. නමුත් මම ඒ අඩුව පිරිමහගෙන දුවට තරඟවලට යන්න උනන්දු කළා. අප්පචි නැති අඩුව කිසිම දවසක දැනෙන්න මම ඉඩ තිබ්බේ නැහැ. මට පුළුවන් උපරීමයෙන් දුවගේ ක්‍රීඩා කටයුතුවලට යොමු කළා.“
ලෝකයක් දිනූ චමරිගේ මවට තම එකම දියණිය පිළිබඳ වූ ආඩම්බරය වචනයට පෙරළිය නොහැකි තරම්ය. අප ඇයගෙන් චමරිගේ කුඩා අවධිය ගැන ඇසූ විට පැවසුවේ ඇය ඉතාම සුරතල් ලෙස හැදී වැඩුණු බවයි. ඒ ගැන අැයගේ වචනයෙන් සටහන් කළේ මෙලෙසිනි.
‘චුටි දුව ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත් දක්ෂයි. එයා හැමදෙයක්ම ලොකුවට හිතට ගත්ත දරුවෙක් නොවෙයි. එයා පුංචි කාලේ ටිකක් දඟයි. ඒ කියන්නේ ක්‍රීඩාවට. නමුත් දැන් නම් ඊට වඩා දඟයි. මම හිතන්නේ අපේ දුව මේ තරගයේදී ලංකාවට කප් එක ගෙනෙයි කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ චුටි දුවටයි කණ්ඩායමටයි මේ කප් එක දිනන්න වාසනාව ලැබෙවා කියලා. එයා ක්‍රීඩා කරනවා මම දකිනවා වගේම එයාගේ අප්පචිත් හොඳ තැනක ඉඳගෙන දුවගේ දස්කම් දකිනවා ඇති. මම දුව සෙල්ලම් කරන ඊළඟ තරඟය බලන්නත් එනවා. ඒ තරඟය බලන්න හුඟදෙනෙක් එයි. ඒ හැම කෙනෙක්ම අපේ රට දිනනවා දකින්න ආසාවෙන් ඉන්නේ.“
දුමින්ද කාරියවසම්
දඹුල්ල කාංචන ආරියදාස