විශේෂාංග
“හමාස් ත්‍රස්තවාදය” ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය
Published
2 years agoon
By
editor
මෙය ලියන මොහොත වනවිට ඉකුත් සෙනසුරාදා (ඔක්තෝම්බර 07) දියත් වූ අනපේක්ෂිත හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල භූමියෙහි මිය ගිය ඇමෙරිකානු ජාතීන් හා විදේශිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව 760 ක් යැයි වාර්තා විය. එය ඉකුත් වසර 50 ක කාලයේ ඊශ්‍රායලය අත් විඳි බරපතලම පලස්තීනු ප්‍රහාරය ලෙස සැළකෙන්නේය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ බුද්ධි තොරතුරු ගොනු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ලොව ඉතාමත්ම දියුණු තාක්ෂණික මෙවලම් හා සංවිධානාත්මක ව්‍යුහයන් ඇතැයි සැළකෙන ඊශ්‍රායලයට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් සඳහා හමාස් ප්‍රහාරකයින් ඇතුළු වූයේ කෙසේද යන්න සාකච්ඡා නොවන්නේ, එවැනි සාකච්ඡාවකින් ඊශ්‍රායලයද කියන තරම් දක්ෂ නොවන්නේ යැයි හෙළි විය හැකි හෙයිනි.
කෙසේමුත් මේ හමාස් කඩා වැදීම, ඊශ්‍රායලයට සිදුවූ ජීවිත විනාශයට හා ආරක්ෂාවට ඇති කළ බරපතල හානියට හා තර්ජනයකට වඩා ඔවුන්ගේ බලසම්පන්න ප්‍රතිරූපය කෙළසුවකැයි ඊශ්‍රායල පාලකයින්ගේ අධිමානයට දැනුනකි. මෙතැන් සිට ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රතිචාර තීන්දු වන්නේ එය නැවත ගොඩ දමා ගැනීමටය. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ 2020 වන තෙක් දක්ෂිණ ඊශ්‍රායලයේ ආරක්ෂක සේවාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරීවූ වත්මන් ආරක්ෂක ඇමති යොඈව් ගැලාන්ට් යුදෙව් මාන්නය වෙනුවෙන් ප්‍රකාශ කරන්නේ හමාස් ත්‍රස්තයින් මෙවර ලොකුම පාඩම ඉගෙන ගන්නා බවත් සමස්ථයක් වශයෙන් ඔවුන් මැද පෙරදිග සහමුලින් වෙනස් කරන බවත් ය.
ඉදිරියේ තව තවත් ජීවිත විනාශ වන බවට කිසිදු සැකයක් නැත. අවුරුදු 75 ට වැඩි කාලයක් අප පැමිණියේ එවැනි අනවශ්‍ය ජීවිත හා සමාජ වත්කම් විනාශ සමගින්ය. මෙවර හමාස් ප්‍රහාරය දියත් කෙරුණේ ඉවසුවා ඇතැයි කියා ය. එය ඊශ්‍රායල රාජ්‍යයට හා යුරෝපා ඇමෙරිකානු බලහත්කාරයට එරෙහි ප්‍රතිචාරයකි.
මේ ඉතිහාස කතාවකි
ඊශ්‍රායල අයිතිය සමග පලස්තීනය ලෙස කතා කෙරෙන භූමිය වසර 2000 ට වඩා ඉහතින් වර්තමාන ඉරාකය, ලෙබනනය හා සිරියාවද අයත් භූමි ප්‍රදේශයක් විය. එම භූමි ප්‍රදේශය ක්‍රි.පූ. 31 දී පමණ රෝම මහා අධිරාජ්‍යා වූ ඔගස්ටස් සීසර් විසින් අල්ලා ගනු ලැබිණ. මේ ප්‍රදේශයට “පලස්තීනය” යැයි නම පට බැඳෙන්නේ ඉන් පසුවය. රෝම ආක්‍රමණය සමග එහිවූ විශාල පිරිසක් සිය ගම් බිම් අත හැර පලා යති. යුරෝපය පුරා විසිර ගිය මේ පිරිස් “යුදෙව්” ජාතිකයින් යැයි හඳුන්වනු ලැබූයේ ඔවුන්ගේ ආගමික ලබ්ධිය යුරෝපයේ එවකට නොවුනු ආගමක් ලෙස හඳුනා ගැනීමෙහිදී ය. ඔවුහු කතෝලික හෝ ඉස්ලාමීය ලබ්ධිකයින් නොවෙති. ඔවුන්ගේ යුදෙව්වාදී ඇදහිලි ආරම්භ වන්නේ මීට වසර 3,320 ට ඉහතින් මෝසස් විසින් දෙවියන් වහන්සේගෙන් ලැබුණා යැයි සිනායි කඳු මුදුනෙහි සිට කළ ප්‍රකාශය බාර ගත් ජනතාවගෙනි. කතෝලිකයින් පිළිගන්නා දස පනත ඇත්තේද මෝසස්ගේ මෙම ප්‍රකාශයෙහිය. ඇදහීමේ එවැනි සම්මිශ්‍රණ ඇතත් ඔවුන් අතර ඉතිහාසය පුරා ආගම හා භාෂාව සමගත් වාර්ගිකවත් සංස්කෘතිකමය අනන්‍යතා දෙකක් බිහිව ඇත. සුළුතර සංස්කෘතික අනන්‍යතාවකට හිමිකරුවන් වශයෙන් ඔවුන් ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව ඉතා දැඩිව රැක ගන්නාහ. මේ වනවිට ලොව පුරා ඉන්නා සමස්ථ යුදෙව් ජනගහනය මිලියන 14 ට මඳක් වැඩි අතර, ඊශ්‍රායලයේ වෙසෙන්නේ ඉන් මිලියන 05 ක් පමණය.
ඒ අතර කාලයේ බයිබලයට අනුව තෙවරක්ම දෙවියන්ගේ ආශීර්වාදය ලද යුදෙව්වන්ගෙන් වෙනස් වන්නටත් රෝම අධිරාජ්‍ය යටතේද පලස්තීන භූමියෙහි රැඳුනු ජනතාව පලස්තීනුවන් ලෙස රෝම අනන්‍යතාවයෙන්ද වෙන්ව සිටීමටත් අරාබි අනන්‍යතාවයක් හදා ගත්හ. ඒ ගමන තුල පලස්තීනුවෝ අරාබික පරිනාමයක්ද ඇතිව සංස්කෘතිමය වශයෙන් අරාබි බස් වහරක් කතා කරන, සුන්නි ඉස්ලාම් භක්තිකයින් වූහ. ඒ හේතුවෙන් පලස්තීනු ජාතිකත්වයක් පිළිබඳව කතා වන්නට පටන් ගැනෙන්නේ අවුරුදු 400 ක ඔටෝමාන් පාලනයෙන් නිදහස්වන 1917 – 1918 වසරවලය.
පළමු ලෝක යුද්ධය 1918 දී අවසන් වන විට සමස්ථ අරාබි ප්‍රදේශයෙන් සිරියාව, ලෙබනනය, ඉරාකය වැනි ප්‍රදේශ බ්රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර රටවල් විසින් කැබලි කර බෙදා ගනු ලැබූ අතර, පලස්තීනය යැයි හඳුන්වන ප්‍රදේශය බ්රිතාන්‍යය සන්තක විය. 1969 මාර්තු සිට 1974 ජුනි දක්වා ඊශ්‍රායලයේ සිව් වන අගමැතිනිය වූ ගොල්ඩා මෙය ගේ ස්වයං චරිතාපදනයෙහි සඳහන්වන අයුරු 1916 වන විට එහි ඉතිරිව සිටි යුදෙව් සංඛ්‍යාව 56,000 ක් පමණ ය. අනතුරුව රෝම අධිරාජ්‍ය පාලන කාලයේ සිට විටින් විට යුරෝපයට හා ඇමෙරිකාවට සංක්‍රමණය වෙමින් ඒ රටවල වෙළඳ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වූ ඇතැම් යුදෙව් පිරිස් පලස්තීනු ප්‍රදේශයෙහි තමන්ගේ ස්වාධීන රාජ්‍ය ලෙස ඊශ්‍රායලය පිහිටුවීමේ අයිතියි බ්රිතාන්‍ය පාලකයින්ට ඉදිරිපත් කරන්නට විය. ඒ අතරතුර පලස්තීනයේ ඉඩම් මිලට ගත හැකිවූ යුදෙව්වෝ පලස්තීනයේ පදිංචියට පැමිණියහ. ගොල්ඩා මෙය පවසන අයුරු 1916 වනවිට, පළමු ලෝක යුද්ධයෙහි විශේෂයෙන් යුක්රේනයේ (ඇයද යුක්රේන යුදෙව් ජාතිකයෙකි) හා පෝලන්තයේ විසූ යුදෙව්වන්ට සිදු කෙරුණු වධ දීම් හා ඝාතන හේතුවෙන් බ්රිතාන්‍යයට හා ඇමෙරිකාවට ඇතුලූ වූ යුදෙව්වන් සංවිධානාත්මකව පලස්තීන භූමියෙහි යුදෙව් කෘෂි ජනාවාස 50 ක් පමණ ආරම්භකර තිබිණ. ජාෆා වැලි කඳු යාබදව ටෙල් අ‘විව් නගරය ඉදිකර තිබිණ. “යිෂුව්” යැයි ස්වයං ආරක්ෂක සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබිණ.
පළමු ලෝක යුද්ධය 1917 පමණ වනවිට අවසානයට ළඟාවෙමින් තිබියදී පලස්තීනය බ්‍රිතාන්‍ය හමුදා පාලනයට යටත් කෙරිණ. 1920 පසුවන තෙක් බ්‍රිතාන්‍ය හමුදාව යටතේ පැවති පලස්තීනයෙහි බ්‍රිතාන්‍ය සිවිල් පාලනයක් ඔවුහු පිහිට වූහ. ඒ කාලයේ පළමු ලෝක යුද්ධයෙන් අවතැන්ව සිටි යුදෙව් ජාතිකයින් වෙනුවෙන් පලස්තීනයෙහි ස්වාධීන යුදෙව් දේශයක් තහවුරු කරන මෙන් ඇමෙරිකාවේ හා යුරෝපයේ පැවති යුදෙව් සංවිධාන බ්‍රිතාන්‍ය පාලනයට දිගින් දිගටම බලපෑම් කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් එවක බ්රිතාන්‍ය විදේශ කටයුතු ඇමති ආත බැල්ෆ විසින් සයොන්වාදී සම්මේලනය ඇමතු ලිපියක් යුදෙව් ජාතික නියෝජනයේ ප්‍රභූවරයෙකු ලෙස සැළකුණු රොත්ස්චයිල් සාමි වෙත ලබා දෙමින් පොරොන්දු වූයේ “බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආණ්ඩුව පලස්තීනයෙහි යුදෙව් ජාතික දේශයක් පිහිටුවන්නට සහාය දක්වන” බවය. එය “බැල්ෆ ගිවිසුම” ලෙස ප්‍රසිද්ධ විය.
එහෙත් “බැල්ෆ ගිවිසුම” ක්‍රියාත්මක වන්නට අවශ්‍ය පරිසරය පලස්තීනයේ බ්රිතාන්‍ය පාලනය විසින් සකස් නොකළේය. මැදපෙරදිග ඔවුන්ට තිබූ බලපෑම ආරක්ෂාකර ගැනීමට ඔවුන් උනන්දු වූයෙන් අරාබි නායකයින් උරණ වෙතැයි යුදෙව් සංක්‍රමණ සඳහාද බ්රිතාන්‍ය සහාය නොදැක් වූහ. බැල්ෆ ගිවිසුම අනුමත කළද 1945 දී ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් අරාබි නායකයින්ට පොරොන්දු වූයේ ඔවුන් සහ යුදෙව් නායකයින් දෙගොල්ලන් සමගම සාකච්ඡා කර මිස ඇමෙරිකාව “ඊශ්‍රායලය” සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බවය. එහෙත් 1946 ජනවාරියේ බලයට පත් ජනාධිපති ටෲමන් අවතැන් වූ යුදෙව්වන් ලක්ෂයකට නැවත පලස්තීනයට ඇතුළුවන්නට අවසර දුන් යෝජනාවකට මැයි මස අනුමැතිය දුන්නේය. නොවැම්බරයේදී ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහාය පළ කළේය.
“බැල්ෆ ගිවිසුම” ගැන යුදෙව් ජාතිකයින් අතර ලොකු විශ්වාසයක් නොවුනත් එය තමන්ගේ වාසියට යොදා ගැනීමට ඔවුහු මැලි නොවූහ. එබැවින් පලස්තීනයට සංක්‍රමණය වන යුදෙව් ජාතික සංඛ්‍යාව කෙමෙන් ඉහළ ගියේ ය. ඊට ප්‍රතිචාර වශයෙන් පළමු ලෝක යුද්ධය අවසානයේ අවුරුදු 400 ක ඔටොමාන් පාලනයෙන් නිදහස් වූ පලස්තීනයෙහි ජාතිකත්වය පිළිබඳ දේශාභිමානයක් වර්ධනය විය. ඒ පසුබිමෙහි යුදෙව් ජාතිකයින් හා පලස්තීනුවන් අතර ආරම්භක අවධියෙහි ගැටුම් වර්ධනය වන්නේ වතුර, ඉඩම්, ජනාවාස, වැනි ජීවත්වීමේ අවශ්‍යතා වෙනුවෙනි. සංක්‍රමණය වන යුදෙව්වන් වැඩි වැඩියෙන් ඉඩම් අල්ලා ගැනීමත් සමගය. ඒ වෙනුවෙන් යුදෙව් සංක්‍රමණ සතු විශේෂත්වයක් වූයේ ඔවුන් සන්නද්ධ මැදිහත්වීම් වෙනුවෙන් සූදානම් වීමෙහිය. ඊට එරෙහිව 1948 අප්‍රේල් 17 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනා අංක 46 සම්මත කරනු ලැබූයේ “එක්සත් රාජධානිය පලස්තීනයේ නිල බලය වන හෙයින් සාමය හා විනය පවත්වා ගැනීමේ වගකීම ඔවුන්ට ඇත. එවගේම සියලු පුද්ගලයින්ට හා සංවිධාන වලට මූලාරම්භය කවරක් වූවත් සන්නද්ධ කණ්ඩායම් හා සටන්කරුවන්ද, අවි ආයුධ හා යුධ භාණ්ඩද පලස්තීනයට ගෙන්වීමෙන් වළකින ලෙසත් මෙම යෝජනාව ඉල්ලා සිටින්නේය” යන ඉල්ලීම කරමින්ය.
දෙපාර්ශවය අතර ගැටුම ක්‍රමානුකූලව ජාතිකත්ව ගැටුමක් බවට පත් වන්නේ එවැනි අනතුරුදායක ප්‍රවනතා සමගය. දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට බ්රිතාන්‍ය ආධිපත්‍යයද අවසන් වන්නේය. ඒ සමග එක්සත් ජාතීන් ජෙරුසමල ජාත්‍යන්තර අධීක්ෂණය ඇතිව වෙනම තබා ගෙන, ඊශ්‍රායලය හා පලස්තීනය යැයි රටවල් දෙකක් වෙනුවෙන් භූගෝලීය සිතියමක් සැළසුම් කර 1947 නොවැම්බර 27 වන දින ඊට අනුමැතියද ලබා ගත්තේය. එහෙත් 1948 මැයි 15 වන දින පලස්තීනු භාරය අවසන්වී බ්රිතාන්‍ය හමුදා පලස්තීනයෙන් ඉවත් වන්නට කලින් දින යුදෙව් ආයතනයේ නායක ඩේවිඩ් බෙන් ගූරියන් ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය.
ස්වාධීන ඊශ්‍රායල රාජ්‍ය ප්‍රකාශ කිරීමත් සමග අසල්වැසි අරාබි රටවල් සමග ඇතිවූ යුද්ධය 1949 දී සටන් අත්හිටුවීමේ මායිම් සමගින් තාවකාලිකව නතර කෙරෙන විට ඉන් වාසි ලබා සිටියේ යුදෙව් ජාතිකයින්ය. කොටස් තුනකට වෙන්වුනු පලස්තීනයෙහි වත්මන් ඊශ්‍රායලය යුදෙව් පාලනයක් සමග ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. පලස්තීනුවන්ට එවැනි රාජ්‍යයක් නොවුනි. ඉතිරියෙන් නැගෙනහිර ජෙරුසලම සමග බටහිර ඉවුර ජෝර්දාන් පාලනයට යටත් වූ අතර, ගාසා තීරුව ඊජිප්තු පාලනයට යටත් විය. මෙම සටන් අත්හිටුවීම 1967 දක්වා පැවති අතර, ඒ කාලයේ ඊශ්‍රායල රාජ්‍ය අත්පත් කර ගනු ලැබූ භූමි ප්‍රදේශයේ පලස්තීනු ගම් 418 ක් පමණ මුළුමනින් අතුගා දැමුනි. ඒවායේ විසූ පලස්තීනුවන්ගෙන් සියයට 80 ක් පමණ පිටුවහල් කරන ලදී. පිටුවහල් කරනු ලැබූවන්ට නැවත ඊශ්‍රායලයට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබිණ.
මේ ආකාරයට 1948 දී ආරම්භ වන ඊශ්‍රායල – පලස්තීනු ගැටුම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1948 වසරේදී යෝජනා 16 ක් සම්මත කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2015 සිට 2022 දක්වා ඊශ්‍රායලයට අදාල යෝජනා 140 ක් සම්මත කර ඇත. එහෙත් ඒ කිසිවක් ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. 1972 න් පසු වසර 50 ක පමණ කාලයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊශ්‍රායලයට එරෙහි යෝජනා 53 ක් ඇමෙරිකාව විසින් සිය නිශේධ බලය මත නවතා දමා ඇත.
ඒ හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් ඇති නිත්‍ය සාමාජික හා බලසම්පන්න ඇමෙරිකාව සමග ඊශ්‍රායලය පවත්වා ගන්නා උපායික සම්බන්ධයට අදාලව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනා කිහිපයක්ම සම්මත කර ඇත්තේ, එමගින් ඊශ්‍රායලයට ආක්‍රමණශීලි සහ ව්‍යාපත්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තියක් ලැබී ඇතැයි සනාථ කරමින් ය.
ඊශ්‍රායල – පලස්තීනු ගැටුමෙහි සහ මැද පෙරදිග දේශපාලනයෙහි වර්තමානය තීන්දු කරන්නාවූ ඉතිහාස කතාව කෙටියෙන් එවැනිය. පසුගිය දසකයක පමණ ඊශ්‍රායල හැසිරීම සහ ආසන්නම හමාස් ප්‍රහාරයත් එහි ඊළඟ වර්ධනයත් ගැන අනතුරුව විමසා බලමු.
– කුසල් පෙරේරා
2023 ඔක්තෝමබර 10

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.
මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .
1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.
නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.
දයාබර පත්තර මල්ලි වෙත
අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා.
ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්.
මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.
ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්.
ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.
අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා.
කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.
හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.
ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු .
එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති.
නුවන් ජූඩ් ලියනගේ .
ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .








“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…
ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.
අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”
මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.
ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.
78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.
ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.
ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.
1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.
ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.
ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.
මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන
ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.
ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.
“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.
‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’
බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.
1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම
බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.
ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.
සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.
පයිලට් ප්‍රේම්නාත්
ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.
එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.
මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය
පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.
‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.
මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන
ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.
- 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
- 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
- 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
- රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
- ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014
ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.
ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.
ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.
“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.
“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”
“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.
“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”
“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.
මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය – BBC

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
Trending
-
පුවත්1 week ago
2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ
-
පුවත්1 week ago
දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update)
-
පුවත්1 week ago
එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්
-
පුවත්3 days ago
“පත්තර මල්ලී” හෙටින් ඉවරයි
-
පුවත්4 days ago
NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි