විශේෂාංග

“හමාස් ත්‍රස්තවාදය” ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය

Published

on

මෙය ලියන මොහොත වනවිට ඉකුත් සෙනසුරාදා (ඔක්තෝම්බර 07) දියත් වූ අනපේක්ෂිත හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල භූමියෙහි මිය ගිය ඇමෙරිකානු ජාතීන් හා විදේශිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව 760 ක් යැයි වාර්තා විය. එය ඉකුත් වසර 50 ක කාලයේ ඊශ්‍රායලය අත් විඳි බරපතලම පලස්තීනු ප්‍රහාරය ලෙස සැළකෙන්නේය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ බුද්ධි තොරතුරු ගොනු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ලොව ඉතාමත්ම දියුණු තාක්ෂණික මෙවලම් හා සංවිධානාත්මක ව්‍යුහයන් ඇතැයි සැළකෙන ඊශ්‍රායලයට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් සඳහා හමාස් ප්‍රහාරකයින් ඇතුළු වූයේ කෙසේද යන්න සාකච්ඡා නොවන්නේ, එවැනි සාකච්ඡාවකින් ඊශ්‍රායලයද කියන තරම් දක්ෂ නොවන්නේ යැයි හෙළි විය හැකි හෙයිනි.

කෙසේමුත් මේ හමාස් කඩා වැදීම, ඊශ්‍රායලයට සිදුවූ ජීවිත විනාශයට හා ආරක්ෂාවට ඇති කළ බරපතල හානියට හා තර්ජනයකට වඩා ඔවුන්ගේ බලසම්පන්න ප්‍රතිරූපය කෙළසුවකැයි ඊශ්‍රායල පාලකයින්ගේ අධිමානයට දැනුනකි. මෙතැන් සිට ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රතිචාර තීන්දු වන්නේ එය නැවත ගොඩ දමා ගැනීමටය. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ 2020 වන තෙක් දක්ෂිණ ඊශ්‍රායලයේ ආරක්ෂක සේවාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරීවූ වත්මන් ආරක්ෂක ඇමති යොඈව් ගැලාන්ට් යුදෙව් මාන්නය වෙනුවෙන් ප්‍රකාශ කරන්නේ හමාස් ත්‍රස්තයින් මෙවර ලොකුම පාඩම ඉගෙන ගන්නා බවත් සමස්ථයක් වශයෙන් ඔවුන් මැද පෙරදිග සහමුලින් වෙනස් කරන බවත් ය.

ඉදිරියේ තව තවත් ජීවිත විනාශ වන බවට කිසිදු සැකයක් නැත. අවුරුදු 75 ට වැඩි කාලයක් අප පැමිණියේ එවැනි අනවශ්‍ය ජීවිත හා සමාජ වත්කම් විනාශ සමගින්ය. මෙවර හමාස් ප්‍රහාරය දියත් කෙරුණේ ඉවසුවා ඇතැයි කියා ය. එය ඊශ්‍රායල රාජ්‍යයට හා යුරෝපා ඇමෙරිකානු බලහත්කාරයට එරෙහි ප්‍රතිචාරයකි.

මේ ඉතිහාස කතාවකි

ඊශ්‍රායල අයිතිය සමග පලස්තීනය ලෙස කතා කෙරෙන භූමිය වසර 2000 ට වඩා ඉහතින් වර්තමාන ඉරාකය, ලෙබනනය හා සිරියාවද අයත් භූමි ප්‍රදේශයක් විය. එම භූමි ප්‍රදේශය ක්‍රි.පූ. 31 දී පමණ රෝම මහා අධිරාජ්‍යා වූ ඔගස්ටස් සීසර් විසින් අල්ලා ගනු ලැබිණ. මේ ප්‍රදේශයට “පලස්තීනය” යැයි නම පට බැඳෙන්නේ ඉන් පසුවය. රෝම ආක්‍රමණය සමග එහිවූ විශාල පිරිසක් සිය ගම් බිම් අත හැර පලා යති. යුරෝපය පුරා විසිර ගිය මේ පිරිස් “යුදෙව්” ජාතිකයින් යැයි හඳුන්වනු ලැබූයේ ඔවුන්ගේ ආගමික ලබ්ධිය යුරෝපයේ එවකට නොවුනු ආගමක් ලෙස හඳුනා ගැනීමෙහිදී ය. ඔවුහු කතෝලික හෝ ඉස්ලාමීය ලබ්ධිකයින් නොවෙති. ඔවුන්ගේ යුදෙව්වාදී ඇදහිලි ආරම්භ වන්නේ මීට වසර 3,320 ට ඉහතින් මෝසස් විසින් දෙවියන් වහන්සේගෙන් ලැබුණා යැයි සිනායි කඳු මුදුනෙහි සිට කළ ප්‍රකාශය බාර ගත් ජනතාවගෙනි. කතෝලිකයින් පිළිගන්නා දස පනත ඇත්තේද මෝසස්ගේ මෙම ප්‍රකාශයෙහිය. ඇදහීමේ එවැනි සම්මිශ්‍රණ ඇතත් ඔවුන් අතර ඉතිහාසය පුරා ආගම හා භාෂාව සමගත් වාර්ගිකවත් සංස්කෘතිකමය අනන්‍යතා දෙකක් බිහිව ඇත. සුළුතර සංස්කෘතික අනන්‍යතාවකට හිමිකරුවන් වශයෙන් ඔවුන් ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව ඉතා දැඩිව රැක ගන්නාහ. මේ වනවිට ලොව පුරා ඉන්නා සමස්ථ යුදෙව් ජනගහනය මිලියන 14 ට මඳක් වැඩි අතර, ඊශ්‍රායලයේ වෙසෙන්නේ ඉන් මිලියන 05 ක් පමණය.

ඒ අතර කාලයේ බයිබලයට අනුව තෙවරක්ම දෙවියන්ගේ ආශීර්වාදය ලද යුදෙව්වන්ගෙන් වෙනස් වන්නටත් රෝම අධිරාජ්‍ය යටතේද පලස්තීන භූමියෙහි රැඳුනු ජනතාව පලස්තීනුවන් ලෙස රෝම අනන්‍යතාවයෙන්ද වෙන්ව සිටීමටත් අරාබි අනන්‍යතාවයක් හදා ගත්හ. ඒ ගමන තුල පලස්තීනුවෝ අරාබික පරිනාමයක්ද ඇතිව සංස්කෘතිමය වශයෙන් අරාබි බස් වහරක් කතා කරන, සුන්නි ඉස්ලාම් භක්තිකයින් වූහ. ඒ හේතුවෙන් පලස්තීනු ජාතිකත්වයක් පිළිබඳව කතා වන්නට පටන් ගැනෙන්නේ අවුරුදු 400 ක ඔටෝමාන් පාලනයෙන් නිදහස්වන 1917 – 1918 වසරවලය.

පළමු ලෝක යුද්ධය 1918 දී අවසන් වන විට සමස්ථ අරාබි ප්‍රදේශයෙන් සිරියාව, ලෙබනනය, ඉරාකය වැනි ප්‍රදේශ බ්රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර රටවල් විසින් කැබලි කර බෙදා ගනු ලැබූ අතර, පලස්තීනය යැයි හඳුන්වන ප්‍රදේශය බ්රිතාන්‍යය සන්තක විය. 1969 මාර්තු සිට 1974 ජුනි දක්වා ඊශ්‍රායලයේ සිව් වන අගමැතිනිය වූ ගොල්ඩා මෙය ගේ ස්වයං චරිතාපදනයෙහි සඳහන්වන අයුරු 1916 වන විට එහි ඉතිරිව සිටි යුදෙව් සංඛ්‍යාව 56,000 ක් පමණ ය. අනතුරුව රෝම අධිරාජ්‍ය පාලන කාලයේ සිට විටින් විට යුරෝපයට හා ඇමෙරිකාවට සංක්‍රමණය වෙමින් ඒ රටවල වෙළඳ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වූ ඇතැම් යුදෙව් පිරිස් පලස්තීනු ප්‍රදේශයෙහි තමන්ගේ ස්වාධීන රාජ්‍ය ලෙස ඊශ්‍රායලය පිහිටුවීමේ අයිතියි බ්රිතාන්‍ය පාලකයින්ට ඉදිරිපත් කරන්නට විය. ඒ අතරතුර පලස්තීනයේ ඉඩම් මිලට ගත හැකිවූ යුදෙව්වෝ පලස්තීනයේ පදිංචියට පැමිණියහ. ගොල්ඩා මෙය පවසන අයුරු 1916 වනවිට, පළමු ලෝක යුද්ධයෙහි විශේෂයෙන් යුක්රේනයේ (ඇයද යුක්රේන යුදෙව් ජාතිකයෙකි) හා පෝලන්තයේ විසූ යුදෙව්වන්ට සිදු කෙරුණු වධ දීම් හා ඝාතන හේතුවෙන් බ්රිතාන්‍යයට හා ඇමෙරිකාවට ඇතුලූ වූ යුදෙව්වන් සංවිධානාත්මකව පලස්තීන භූමියෙහි යුදෙව් කෘෂි ජනාවාස 50 ක් පමණ ආරම්භකර තිබිණ. ජාෆා වැලි කඳු යාබදව ටෙල් අ‘විව් නගරය ඉදිකර තිබිණ. “යිෂුව්” යැයි ස්වයං ආරක්ෂක සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබිණ.

පළමු ලෝක යුද්ධය 1917 පමණ වනවිට අවසානයට ළඟාවෙමින් තිබියදී පලස්තීනය බ්‍රිතාන්‍ය හමුදා පාලනයට යටත් කෙරිණ. 1920 පසුවන තෙක් බ්‍රිතාන්‍ය හමුදාව යටතේ පැවති පලස්තීනයෙහි බ්‍රිතාන්‍ය සිවිල් පාලනයක් ඔවුහු පිහිට වූහ. ඒ කාලයේ පළමු ලෝක යුද්ධයෙන් අවතැන්ව සිටි යුදෙව් ජාතිකයින් වෙනුවෙන් පලස්තීනයෙහි ස්වාධීන යුදෙව් දේශයක් තහවුරු කරන මෙන් ඇමෙරිකාවේ හා යුරෝපයේ පැවති යුදෙව් සංවිධාන බ්‍රිතාන්‍ය පාලනයට දිගින් දිගටම බලපෑම් කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් එවක බ්රිතාන්‍ය විදේශ කටයුතු ඇමති ආත බැල්ෆ විසින් සයොන්වාදී සම්මේලනය ඇමතු ලිපියක් යුදෙව් ජාතික නියෝජනයේ ප්‍රභූවරයෙකු ලෙස සැළකුණු රොත්ස්චයිල් සාමි වෙත ලබා දෙමින් පොරොන්දු වූයේ “බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආණ්ඩුව පලස්තීනයෙහි යුදෙව් ජාතික දේශයක් පිහිටුවන්නට සහාය දක්වන” බවය. එය “බැල්ෆ ගිවිසුම” ලෙස ප්‍රසිද්ධ විය.

එහෙත් “බැල්ෆ ගිවිසුම” ක්‍රියාත්මක වන්නට අවශ්‍ය පරිසරය පලස්තීනයේ බ්රිතාන්‍ය පාලනය විසින් සකස් නොකළේය. මැදපෙරදිග ඔවුන්ට තිබූ බලපෑම ආරක්ෂාකර ගැනීමට ඔවුන් උනන්දු වූයෙන් අරාබි නායකයින් උරණ වෙතැයි යුදෙව් සංක්‍රමණ සඳහාද බ්රිතාන්‍ය සහාය නොදැක් වූහ. බැල්ෆ ගිවිසුම අනුමත කළද 1945 දී ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් අරාබි නායකයින්ට පොරොන්දු වූයේ ඔවුන් සහ යුදෙව් නායකයින් දෙගොල්ලන් සමගම සාකච්ඡා කර මිස ඇමෙරිකාව “ඊශ්‍රායලය” සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බවය. එහෙත් 1946 ජනවාරියේ බලයට පත් ජනාධිපති ටෲමන් අවතැන් වූ යුදෙව්වන් ලක්ෂයකට නැවත පලස්තීනයට ඇතුළුවන්නට අවසර දුන් යෝජනාවකට මැයි මස අනුමැතිය දුන්නේය. නොවැම්බරයේදී ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහාය පළ කළේය.

“බැල්ෆ ගිවිසුම” ගැන යුදෙව් ජාතිකයින් අතර ලොකු විශ්වාසයක් නොවුනත් එය තමන්ගේ වාසියට යොදා ගැනීමට ඔවුහු මැලි නොවූහ. එබැවින් පලස්තීනයට සංක්‍රමණය වන යුදෙව් ජාතික සංඛ්‍යාව කෙමෙන් ඉහළ ගියේ ය. ඊට ප්‍රතිචාර වශයෙන් පළමු ලෝක යුද්ධය අවසානයේ අවුරුදු 400 ක ඔටොමාන් පාලනයෙන් නිදහස් වූ පලස්තීනයෙහි ජාතිකත්වය පිළිබඳ දේශාභිමානයක් වර්ධනය විය. ඒ පසුබිමෙහි යුදෙව් ජාතිකයින් හා පලස්තීනුවන් අතර ආරම්භක අවධියෙහි ගැටුම් වර්ධනය වන්නේ වතුර, ඉඩම්, ජනාවාස, වැනි ජීවත්වීමේ අවශ්‍යතා වෙනුවෙනි. සංක්‍රමණය වන යුදෙව්වන් වැඩි වැඩියෙන් ඉඩම් අල්ලා ගැනීමත් සමගය. ඒ වෙනුවෙන් යුදෙව් සංක්‍රමණ සතු විශේෂත්වයක් වූයේ ඔවුන් සන්නද්ධ මැදිහත්වීම් වෙනුවෙන් සූදානම් වීමෙහිය. ඊට එරෙහිව 1948 අප්‍රේල් 17 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනා අංක 46 සම්මත කරනු ලැබූයේ “එක්සත් රාජධානිය පලස්තීනයේ නිල බලය වන හෙයින් සාමය හා විනය පවත්වා ගැනීමේ වගකීම ඔවුන්ට ඇත. එවගේම සියලු පුද්ගලයින්ට හා සංවිධාන වලට මූලාරම්භය කවරක් වූවත් සන්නද්ධ කණ්ඩායම් හා සටන්කරුවන්ද, අවි ආයුධ හා යුධ භාණ්ඩද පලස්තීනයට ගෙන්වීමෙන් වළකින ලෙසත් මෙම යෝජනාව ඉල්ලා සිටින්නේය” යන ඉල්ලීම කරමින්ය.

දෙපාර්ශවය අතර ගැටුම ක්‍රමානුකූලව ජාතිකත්ව ගැටුමක් බවට පත් වන්නේ එවැනි අනතුරුදායක ප්‍රවනතා සමගය. දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට බ්රිතාන්‍ය ආධිපත්‍යයද අවසන් වන්නේය. ඒ සමග එක්සත් ජාතීන් ජෙරුසමල ජාත්‍යන්තර අධීක්ෂණය ඇතිව වෙනම තබා ගෙන, ඊශ්‍රායලය හා පලස්තීනය යැයි රටවල් දෙකක් වෙනුවෙන් භූගෝලීය සිතියමක් සැළසුම් කර 1947 නොවැම්බර 27 වන දින ඊට අනුමැතියද ලබා ගත්තේය. එහෙත් 1948 මැයි 15 වන දින පලස්තීනු භාරය අවසන්වී බ්රිතාන්‍ය හමුදා පලස්තීනයෙන් ඉවත් වන්නට කලින් දින යුදෙව් ආයතනයේ නායක ඩේවිඩ් බෙන් ගූරියන් ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය.

ස්වාධීන ඊශ්‍රායල රාජ්‍ය ප්‍රකාශ කිරීමත් සමග අසල්වැසි අරාබි රටවල් සමග ඇතිවූ යුද්ධය 1949 දී සටන් අත්හිටුවීමේ මායිම් සමගින් තාවකාලිකව නතර කෙරෙන විට ඉන් වාසි ලබා සිටියේ යුදෙව් ජාතිකයින්ය. කොටස් තුනකට වෙන්වුනු පලස්තීනයෙහි වත්මන් ඊශ්‍රායලය යුදෙව් පාලනයක් සමග ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. පලස්තීනුවන්ට එවැනි රාජ්‍යයක් නොවුනි. ඉතිරියෙන් නැගෙනහිර ජෙරුසලම සමග බටහිර ඉවුර ජෝර්දාන් පාලනයට යටත් වූ අතර, ගාසා තීරුව ඊජිප්තු පාලනයට යටත් විය. මෙම සටන් අත්හිටුවීම 1967 දක්වා පැවති අතර, ඒ කාලයේ ඊශ්‍රායල රාජ්‍ය අත්පත් කර ගනු ලැබූ භූමි ප්‍රදේශයේ පලස්තීනු ගම් 418 ක් පමණ මුළුමනින් අතුගා දැමුනි. ඒවායේ විසූ පලස්තීනුවන්ගෙන් සියයට 80 ක් පමණ පිටුවහල් කරන ලදී. පිටුවහල් කරනු ලැබූවන්ට නැවත ඊශ්‍රායලයට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබිණ.

මේ ආකාරයට 1948 දී ආරම්භ වන ඊශ්‍රායල – පලස්තීනු ගැටුම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1948 වසරේදී යෝජනා 16 ක් සම්මත කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2015 සිට 2022 දක්වා ඊශ්‍රායලයට අදාල යෝජනා 140 ක් සම්මත කර ඇත. එහෙත් ඒ කිසිවක් ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. 1972 න් පසු වසර 50 ක පමණ කාලයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊශ්‍රායලයට එරෙහි යෝජනා 53 ක් ඇමෙරිකාව විසින් සිය නිශේධ බලය මත නවතා දමා ඇත.

ඒ හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් ඇති නිත්‍ය සාමාජික හා බලසම්පන්න ඇමෙරිකාව සමග ඊශ්‍රායලය පවත්වා ගන්නා උපායික සම්බන්ධයට අදාලව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනා කිහිපයක්ම සම්මත කර ඇත්තේ, එමගින් ඊශ්‍රායලයට ආක්‍රමණශීලි සහ ව්‍යාපත්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තියක් ලැබී ඇතැයි සනාථ කරමින් ය.

ඊශ්‍රායල – පලස්තීනු ගැටුමෙහි සහ මැද පෙරදිග දේශපාලනයෙහි වර්තමානය තීන්දු කරන්නාවූ ඉතිහාස කතාව කෙටියෙන් එවැනිය. පසුගිය දසකයක පමණ ඊශ්‍රායල හැසිරීම සහ ආසන්නම හමාස් ප්‍රහාරයත් එහි ඊළඟ වර්ධනයත් ගැන අනතුරුව විමසා බලමු.

– කුසල් පෙරේරා
2023 ඔක්තෝමබර 10

Trending

Exit mobile version