විශේෂාංග
“හමාස් ත්‍රස්තවාදය” ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය
Published
2 years agoon
By
editor
මෙය ලියන මොහොත වනවිට ඉකුත් සෙනසුරාදා (ඔක්තෝම්බර 07) දියත් වූ අනපේක්ෂිත හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල භූමියෙහි මිය ගිය ඇමෙරිකානු ජාතීන් හා විදේශිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව 760 ක් යැයි වාර්තා විය. එය ඉකුත් වසර 50 ක කාලයේ ඊශ්‍රායලය අත් විඳි බරපතලම පලස්තීනු ප්‍රහාරය ලෙස සැළකෙන්නේය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ බුද්ධි තොරතුරු ගොනු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ලොව ඉතාමත්ම දියුණු තාක්ෂණික මෙවලම් හා සංවිධානාත්මක ව්‍යුහයන් ඇතැයි සැළකෙන ඊශ්‍රායලයට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් සඳහා හමාස් ප්‍රහාරකයින් ඇතුළු වූයේ කෙසේද යන්න සාකච්ඡා නොවන්නේ, එවැනි සාකච්ඡාවකින් ඊශ්‍රායලයද කියන තරම් දක්ෂ නොවන්නේ යැයි හෙළි විය හැකි හෙයිනි.
කෙසේමුත් මේ හමාස් කඩා වැදීම, ඊශ්‍රායලයට සිදුවූ ජීවිත විනාශයට හා ආරක්ෂාවට ඇති කළ බරපතල හානියට හා තර්ජනයකට වඩා ඔවුන්ගේ බලසම්පන්න ප්‍රතිරූපය කෙළසුවකැයි ඊශ්‍රායල පාලකයින්ගේ අධිමානයට දැනුනකි. මෙතැන් සිට ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රතිචාර තීන්දු වන්නේ එය නැවත ගොඩ දමා ගැනීමටය. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ 2020 වන තෙක් දක්ෂිණ ඊශ්‍රායලයේ ආරක්ෂක සේවාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරීවූ වත්මන් ආරක්ෂක ඇමති යොඈව් ගැලාන්ට් යුදෙව් මාන්නය වෙනුවෙන් ප්‍රකාශ කරන්නේ හමාස් ත්‍රස්තයින් මෙවර ලොකුම පාඩම ඉගෙන ගන්නා බවත් සමස්ථයක් වශයෙන් ඔවුන් මැද පෙරදිග සහමුලින් වෙනස් කරන බවත් ය.
ඉදිරියේ තව තවත් ජීවිත විනාශ වන බවට කිසිදු සැකයක් නැත. අවුරුදු 75 ට වැඩි කාලයක් අප පැමිණියේ එවැනි අනවශ්‍ය ජීවිත හා සමාජ වත්කම් විනාශ සමගින්ය. මෙවර හමාස් ප්‍රහාරය දියත් කෙරුණේ ඉවසුවා ඇතැයි කියා ය. එය ඊශ්‍රායල රාජ්‍යයට හා යුරෝපා ඇමෙරිකානු බලහත්කාරයට එරෙහි ප්‍රතිචාරයකි.
මේ ඉතිහාස කතාවකි
ඊශ්‍රායල අයිතිය සමග පලස්තීනය ලෙස කතා කෙරෙන භූමිය වසර 2000 ට වඩා ඉහතින් වර්තමාන ඉරාකය, ලෙබනනය හා සිරියාවද අයත් භූමි ප්‍රදේශයක් විය. එම භූමි ප්‍රදේශය ක්‍රි.පූ. 31 දී පමණ රෝම මහා අධිරාජ්‍යා වූ ඔගස්ටස් සීසර් විසින් අල්ලා ගනු ලැබිණ. මේ ප්‍රදේශයට “පලස්තීනය” යැයි නම පට බැඳෙන්නේ ඉන් පසුවය. රෝම ආක්‍රමණය සමග එහිවූ විශාල පිරිසක් සිය ගම් බිම් අත හැර පලා යති. යුරෝපය පුරා විසිර ගිය මේ පිරිස් “යුදෙව්” ජාතිකයින් යැයි හඳුන්වනු ලැබූයේ ඔවුන්ගේ ආගමික ලබ්ධිය යුරෝපයේ එවකට නොවුනු ආගමක් ලෙස හඳුනා ගැනීමෙහිදී ය. ඔවුහු කතෝලික හෝ ඉස්ලාමීය ලබ්ධිකයින් නොවෙති. ඔවුන්ගේ යුදෙව්වාදී ඇදහිලි ආරම්භ වන්නේ මීට වසර 3,320 ට ඉහතින් මෝසස් විසින් දෙවියන් වහන්සේගෙන් ලැබුණා යැයි සිනායි කඳු මුදුනෙහි සිට කළ ප්‍රකාශය බාර ගත් ජනතාවගෙනි. කතෝලිකයින් පිළිගන්නා දස පනත ඇත්තේද මෝසස්ගේ මෙම ප්‍රකාශයෙහිය. ඇදහීමේ එවැනි සම්මිශ්‍රණ ඇතත් ඔවුන් අතර ඉතිහාසය පුරා ආගම හා භාෂාව සමගත් වාර්ගිකවත් සංස්කෘතිකමය අනන්‍යතා දෙකක් බිහිව ඇත. සුළුතර සංස්කෘතික අනන්‍යතාවකට හිමිකරුවන් වශයෙන් ඔවුන් ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව ඉතා දැඩිව රැක ගන්නාහ. මේ වනවිට ලොව පුරා ඉන්නා සමස්ථ යුදෙව් ජනගහනය මිලියන 14 ට මඳක් වැඩි අතර, ඊශ්‍රායලයේ වෙසෙන්නේ ඉන් මිලියන 05 ක් පමණය.
ඒ අතර කාලයේ බයිබලයට අනුව තෙවරක්ම දෙවියන්ගේ ආශීර්වාදය ලද යුදෙව්වන්ගෙන් වෙනස් වන්නටත් රෝම අධිරාජ්‍ය යටතේද පලස්තීන භූමියෙහි රැඳුනු ජනතාව පලස්තීනුවන් ලෙස රෝම අනන්‍යතාවයෙන්ද වෙන්ව සිටීමටත් අරාබි අනන්‍යතාවයක් හදා ගත්හ. ඒ ගමන තුල පලස්තීනුවෝ අරාබික පරිනාමයක්ද ඇතිව සංස්කෘතිමය වශයෙන් අරාබි බස් වහරක් කතා කරන, සුන්නි ඉස්ලාම් භක්තිකයින් වූහ. ඒ හේතුවෙන් පලස්තීනු ජාතිකත්වයක් පිළිබඳව කතා වන්නට පටන් ගැනෙන්නේ අවුරුදු 400 ක ඔටෝමාන් පාලනයෙන් නිදහස්වන 1917 – 1918 වසරවලය.
පළමු ලෝක යුද්ධය 1918 දී අවසන් වන විට සමස්ථ අරාබි ප්‍රදේශයෙන් සිරියාව, ලෙබනනය, ඉරාකය වැනි ප්‍රදේශ බ්රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර රටවල් විසින් කැබලි කර බෙදා ගනු ලැබූ අතර, පලස්තීනය යැයි හඳුන්වන ප්‍රදේශය බ්රිතාන්‍යය සන්තක විය. 1969 මාර්තු සිට 1974 ජුනි දක්වා ඊශ්‍රායලයේ සිව් වන අගමැතිනිය වූ ගොල්ඩා මෙය ගේ ස්වයං චරිතාපදනයෙහි සඳහන්වන අයුරු 1916 වන විට එහි ඉතිරිව සිටි යුදෙව් සංඛ්‍යාව 56,000 ක් පමණ ය. අනතුරුව රෝම අධිරාජ්‍ය පාලන කාලයේ සිට විටින් විට යුරෝපයට හා ඇමෙරිකාවට සංක්‍රමණය වෙමින් ඒ රටවල වෙළඳ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වූ ඇතැම් යුදෙව් පිරිස් පලස්තීනු ප්‍රදේශයෙහි තමන්ගේ ස්වාධීන රාජ්‍ය ලෙස ඊශ්‍රායලය පිහිටුවීමේ අයිතියි බ්රිතාන්‍ය පාලකයින්ට ඉදිරිපත් කරන්නට විය. ඒ අතරතුර පලස්තීනයේ ඉඩම් මිලට ගත හැකිවූ යුදෙව්වෝ පලස්තීනයේ පදිංචියට පැමිණියහ. ගොල්ඩා මෙය පවසන අයුරු 1916 වනවිට, පළමු ලෝක යුද්ධයෙහි විශේෂයෙන් යුක්රේනයේ (ඇයද යුක්රේන යුදෙව් ජාතිකයෙකි) හා පෝලන්තයේ විසූ යුදෙව්වන්ට සිදු කෙරුණු වධ දීම් හා ඝාතන හේතුවෙන් බ්රිතාන්‍යයට හා ඇමෙරිකාවට ඇතුලූ වූ යුදෙව්වන් සංවිධානාත්මකව පලස්තීන භූමියෙහි යුදෙව් කෘෂි ජනාවාස 50 ක් පමණ ආරම්භකර තිබිණ. ජාෆා වැලි කඳු යාබදව ටෙල් අ‘විව් නගරය ඉදිකර තිබිණ. “යිෂුව්” යැයි ස්වයං ආරක්ෂක සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබිණ.
පළමු ලෝක යුද්ධය 1917 පමණ වනවිට අවසානයට ළඟාවෙමින් තිබියදී පලස්තීනය බ්‍රිතාන්‍ය හමුදා පාලනයට යටත් කෙරිණ. 1920 පසුවන තෙක් බ්‍රිතාන්‍ය හමුදාව යටතේ පැවති පලස්තීනයෙහි බ්‍රිතාන්‍ය සිවිල් පාලනයක් ඔවුහු පිහිට වූහ. ඒ කාලයේ පළමු ලෝක යුද්ධයෙන් අවතැන්ව සිටි යුදෙව් ජාතිකයින් වෙනුවෙන් පලස්තීනයෙහි ස්වාධීන යුදෙව් දේශයක් තහවුරු කරන මෙන් ඇමෙරිකාවේ හා යුරෝපයේ පැවති යුදෙව් සංවිධාන බ්‍රිතාන්‍ය පාලනයට දිගින් දිගටම බලපෑම් කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් එවක බ්රිතාන්‍ය විදේශ කටයුතු ඇමති ආත බැල්ෆ විසින් සයොන්වාදී සම්මේලනය ඇමතු ලිපියක් යුදෙව් ජාතික නියෝජනයේ ප්‍රභූවරයෙකු ලෙස සැළකුණු රොත්ස්චයිල් සාමි වෙත ලබා දෙමින් පොරොන්දු වූයේ “බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආණ්ඩුව පලස්තීනයෙහි යුදෙව් ජාතික දේශයක් පිහිටුවන්නට සහාය දක්වන” බවය. එය “බැල්ෆ ගිවිසුම” ලෙස ප්‍රසිද්ධ විය.
එහෙත් “බැල්ෆ ගිවිසුම” ක්‍රියාත්මක වන්නට අවශ්‍ය පරිසරය පලස්තීනයේ බ්රිතාන්‍ය පාලනය විසින් සකස් නොකළේය. මැදපෙරදිග ඔවුන්ට තිබූ බලපෑම ආරක්ෂාකර ගැනීමට ඔවුන් උනන්දු වූයෙන් අරාබි නායකයින් උරණ වෙතැයි යුදෙව් සංක්‍රමණ සඳහාද බ්රිතාන්‍ය සහාය නොදැක් වූහ. බැල්ෆ ගිවිසුම අනුමත කළද 1945 දී ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් අරාබි නායකයින්ට පොරොන්දු වූයේ ඔවුන් සහ යුදෙව් නායකයින් දෙගොල්ලන් සමගම සාකච්ඡා කර මිස ඇමෙරිකාව “ඊශ්‍රායලය” සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බවය. එහෙත් 1946 ජනවාරියේ බලයට පත් ජනාධිපති ටෲමන් අවතැන් වූ යුදෙව්වන් ලක්ෂයකට නැවත පලස්තීනයට ඇතුළුවන්නට අවසර දුන් යෝජනාවකට මැයි මස අනුමැතිය දුන්නේය. නොවැම්බරයේදී ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහාය පළ කළේය.
“බැල්ෆ ගිවිසුම” ගැන යුදෙව් ජාතිකයින් අතර ලොකු විශ්වාසයක් නොවුනත් එය තමන්ගේ වාසියට යොදා ගැනීමට ඔවුහු මැලි නොවූහ. එබැවින් පලස්තීනයට සංක්‍රමණය වන යුදෙව් ජාතික සංඛ්‍යාව කෙමෙන් ඉහළ ගියේ ය. ඊට ප්‍රතිචාර වශයෙන් පළමු ලෝක යුද්ධය අවසානයේ අවුරුදු 400 ක ඔටොමාන් පාලනයෙන් නිදහස් වූ පලස්තීනයෙහි ජාතිකත්වය පිළිබඳ දේශාභිමානයක් වර්ධනය විය. ඒ පසුබිමෙහි යුදෙව් ජාතිකයින් හා පලස්තීනුවන් අතර ආරම්භක අවධියෙහි ගැටුම් වර්ධනය වන්නේ වතුර, ඉඩම්, ජනාවාස, වැනි ජීවත්වීමේ අවශ්‍යතා වෙනුවෙනි. සංක්‍රමණය වන යුදෙව්වන් වැඩි වැඩියෙන් ඉඩම් අල්ලා ගැනීමත් සමගය. ඒ වෙනුවෙන් යුදෙව් සංක්‍රමණ සතු විශේෂත්වයක් වූයේ ඔවුන් සන්නද්ධ මැදිහත්වීම් වෙනුවෙන් සූදානම් වීමෙහිය. ඊට එරෙහිව 1948 අප්‍රේල් 17 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනා අංක 46 සම්මත කරනු ලැබූයේ “එක්සත් රාජධානිය පලස්තීනයේ නිල බලය වන හෙයින් සාමය හා විනය පවත්වා ගැනීමේ වගකීම ඔවුන්ට ඇත. එවගේම සියලු පුද්ගලයින්ට හා සංවිධාන වලට මූලාරම්භය කවරක් වූවත් සන්නද්ධ කණ්ඩායම් හා සටන්කරුවන්ද, අවි ආයුධ හා යුධ භාණ්ඩද පලස්තීනයට ගෙන්වීමෙන් වළකින ලෙසත් මෙම යෝජනාව ඉල්ලා සිටින්නේය” යන ඉල්ලීම කරමින්ය.
දෙපාර්ශවය අතර ගැටුම ක්‍රමානුකූලව ජාතිකත්ව ගැටුමක් බවට පත් වන්නේ එවැනි අනතුරුදායක ප්‍රවනතා සමගය. දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට බ්රිතාන්‍ය ආධිපත්‍යයද අවසන් වන්නේය. ඒ සමග එක්සත් ජාතීන් ජෙරුසමල ජාත්‍යන්තර අධීක්ෂණය ඇතිව වෙනම තබා ගෙන, ඊශ්‍රායලය හා පලස්තීනය යැයි රටවල් දෙකක් වෙනුවෙන් භූගෝලීය සිතියමක් සැළසුම් කර 1947 නොවැම්බර 27 වන දින ඊට අනුමැතියද ලබා ගත්තේය. එහෙත් 1948 මැයි 15 වන දින පලස්තීනු භාරය අවසන්වී බ්රිතාන්‍ය හමුදා පලස්තීනයෙන් ඉවත් වන්නට කලින් දින යුදෙව් ආයතනයේ නායක ඩේවිඩ් බෙන් ගූරියන් ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය.
ස්වාධීන ඊශ්‍රායල රාජ්‍ය ප්‍රකාශ කිරීමත් සමග අසල්වැසි අරාබි රටවල් සමග ඇතිවූ යුද්ධය 1949 දී සටන් අත්හිටුවීමේ මායිම් සමගින් තාවකාලිකව නතර කෙරෙන විට ඉන් වාසි ලබා සිටියේ යුදෙව් ජාතිකයින්ය. කොටස් තුනකට වෙන්වුනු පලස්තීනයෙහි වත්මන් ඊශ්‍රායලය යුදෙව් පාලනයක් සමග ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. පලස්තීනුවන්ට එවැනි රාජ්‍යයක් නොවුනි. ඉතිරියෙන් නැගෙනහිර ජෙරුසලම සමග බටහිර ඉවුර ජෝර්දාන් පාලනයට යටත් වූ අතර, ගාසා තීරුව ඊජිප්තු පාලනයට යටත් විය. මෙම සටන් අත්හිටුවීම 1967 දක්වා පැවති අතර, ඒ කාලයේ ඊශ්‍රායල රාජ්‍ය අත්පත් කර ගනු ලැබූ භූමි ප්‍රදේශයේ පලස්තීනු ගම් 418 ක් පමණ මුළුමනින් අතුගා දැමුනි. ඒවායේ විසූ පලස්තීනුවන්ගෙන් සියයට 80 ක් පමණ පිටුවහල් කරන ලදී. පිටුවහල් කරනු ලැබූවන්ට නැවත ඊශ්‍රායලයට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබිණ.
මේ ආකාරයට 1948 දී ආරම්භ වන ඊශ්‍රායල – පලස්තීනු ගැටුම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1948 වසරේදී යෝජනා 16 ක් සම්මත කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2015 සිට 2022 දක්වා ඊශ්‍රායලයට අදාල යෝජනා 140 ක් සම්මත කර ඇත. එහෙත් ඒ කිසිවක් ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. 1972 න් පසු වසර 50 ක පමණ කාලයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊශ්‍රායලයට එරෙහි යෝජනා 53 ක් ඇමෙරිකාව විසින් සිය නිශේධ බලය මත නවතා දමා ඇත.
ඒ හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් ඇති නිත්‍ය සාමාජික හා බලසම්පන්න ඇමෙරිකාව සමග ඊශ්‍රායලය පවත්වා ගන්නා උපායික සම්බන්ධයට අදාලව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනා කිහිපයක්ම සම්මත කර ඇත්තේ, එමගින් ඊශ්‍රායලයට ආක්‍රමණශීලි සහ ව්‍යාපත්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තියක් ලැබී ඇතැයි සනාථ කරමින් ය.
ඊශ්‍රායල – පලස්තීනු ගැටුමෙහි සහ මැද පෙරදිග දේශපාලනයෙහි වර්තමානය තීන්දු කරන්නාවූ ඉතිහාස කතාව කෙටියෙන් එවැනිය. පසුගිය දසකයක පමණ ඊශ්‍රායල හැසිරීම සහ ආසන්නම හමාස් ප්‍රහාරයත් එහි ඊළඟ වර්ධනයත් ගැන අනතුරුව විමසා බලමු.
– කුසල් පෙරේරා
2023 ඔක්තෝමබර 10
You may like

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.
තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.
ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.
නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.
මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.
සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.
ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.
සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.
2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.
2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.
සමාජ මාධ්‍යයන්හි අරමුණු
සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.
සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.
S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.
තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.
L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.
YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.
I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.
Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.
එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.
M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.
සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.
කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.
සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.
නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.
අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.
එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය
Published
1 week agoon
June 23, 2025By
editor
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා නෑ ලූ. ව්‍යාපෘතිය අසාර්ථකයි.
දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.
හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.
අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.
පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා. හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!
මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.
මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු 8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි) ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු) ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.
ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි. නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා. ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.
ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා. අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.
ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.
රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!
රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.
විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.
‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි. ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!
රජිත් කීර්ති තෙන්නකෝන්


රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි
Trending
-
පුවත්5 days ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්5 days ago
මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
-
පුවත්1 week ago
පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට
-
පුවත්1 week ago
‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ
-
පුවත්3 days ago
ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා