විශේෂාංග

ක්‍රිකට් ආයතනයට නාමයෝජනා දුන් නම් හලන්න කුමන්ත්‍රණයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා භාරගැනීම පෙබරවාරි 28 වැනිදා සවස 3.00 න් අවසන් විය. 

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පනවන ලද නව රෙගුලාසි වලට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති තීරණය නිසා පිටුපස දොරින් විධායක කමිටුවට පැමිණීම සඳහා කුමන්ත්‍රණය කළ පිරිසගේ බලාපොරොත්තු මේ වනවිට සුන් වී ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් නිලවරණයකින් කෙදිනක හෝ ජයගත නොහැකි කණ්ඩායමක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ ඇතැම් සාමාජිකයන්ගේ උදව්වෙන් ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා පසුගිය කාලය පුරාම කුමන්ත්‍රණයක් දියත්ව තිබූ බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නාමයෝජනා අවසන් වීමෙන් පසු ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් තරග වදින කණ්ඩායම නිතරග ජයක් ලබාගන්නා බව තහවුරු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ පිටුපස දොරින් විධායක කමිටුවට පැමිණීමට බලාපොරොත්තු වූ අය නාම යෝජනා ලබා නොදීමයි.

අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියද තම පාර්ශවයට මේ සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම ඉතාමත් අපහසු බව කුමන්ත්‍රණකාරීන් මේ වනවිට වටහාගෙන ඇත.

ඒ අනුව, කුමන්ත්‍රණකරුවන්ගේ අලුත්ම අදහස වී තිබෙන්නේ කෙසේ හෝ ඇමතිතුමාගේ බලතල පාවිච්චි කරමින් නිලවරණයේදී ඇතැම් නාමයෝජනා අහෝසි කිරීම සඳහා කටයුතු කිරීමයි. 

ඒ අනුව, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කළ අභියාචනා උපදේශක කමිටුව වෙත 2021/2023 ධූර කාලය සඳහා නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී ඉදිරිපත් කළ නාමයෝජනා වලට විරෝධතා මත පදනම්ව අලුත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කිරීම මගින් මේ උත්සාහය දියත් කර තිබේ. 

අභියාචනා උපදේශන කමිටුවේ ලේකම් නීතිඥ ශලනි රොෂානා ප්‍රනාන්දු හරහා ඇතැම් නාමයෝජනා සඳහා විරෝධතා සඳහා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන් විසින් දැනටමත් ආරම්භ කර ඇත. 

එහෙත් නීතිරීති ප්‍රකාරව එසේ පැවති නිලවරණයක කාලසීමාව අවසාන වන මොහොතක එම නිලවරණයට අදාලව පරීක්ෂණ පැවැත්වීම ඉතා විහිලුසහගත අමනෝඥ ක්‍රියාවක් බව ක්‍රීඩා විශ්ලේෂකයෝ සඳහන් කරති. 2021/2023 නිලවරණය පවත්වා එහි නිල කාලය අවසන් වීමට තවත් මාස 03 ක් පමණ තිබියදී මෙසේ කුප්‍රකට අයුරින් කටයුතු කිරීමට ඇදහිය නොහැකි තත්වයක් බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන අඩු දැනුම උපයෝගී කරගෙන ඔහුව නොමග යවා කෙසේ හෝ නිලවරණයට බාධා පැමිණවීමට කුමන්ත්‍රණකරුවන් ආරම්භ කර ඇති උත්සාහය තවදුරටත් නැවතී නැති බව පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නිසි ආකාරයෙන් නොපැවතුණහොත් අනිවාර්යෙන්ම පාපන්දු ක්‍රීඩාවට සිදුවූවා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තහනමට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් බව ද ICC ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශම්මි සිල්වා පාර්ශවය විසින් නාමයෝජනා ලබාදීමේදී ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි වන පරිදි ප්‍රධාන තනතුරු සඳහා නාම යෝජනා ලබාදීම තුළින් කුමන්ත්‍රණකරුවන් කොතෙකුත් උත්සාහ දැරුවද ක්‍රිකට් නිලවරණයේ ඡන්දයකින් කුමන්ත්‍රණකරුවන්ට ක්‍රිකට් ආයතනයේ නිල බලය ලබාගැනීම කළු නික සොයනවා වැනි කාරණයක් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

යම් හෙයකින් තවදුරටත් දේශපාලන අතපෙවීම් මත ක්‍රිකට් නිලවරණයේ කටයුතු අඩපණ කිරීමට ක්‍රීඩා ඇමතිවරයා මැදිහත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන ධාරාවේ සිටින ඇමතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා වෙත මේ වනවිටත් කරුණු සැල කර ඇති බව සඳහන් වේ. 

අනිසි දේශපාලන බලපෑම් මතු වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් තහනමකට අනිවාර්යෙන්ම ලක්වන බව ජනාධිපතිවරයා ද මේ වනවිට දැනුවත් වී ඇති බව වැඩිදුරටත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

– සුනිල් පෙරේරා

Trending

Exit mobile version