විශේෂාංග

මංගලට 67 යි!

Published

on

දස දහස් ගණන් මිනිස්සු, මිලියන  බිලියන ට්‍රිලියන ගණන් මිනිස්සු, එති. යති.

ඇතැම් මිනිස්සු, ඇතැම් සලකුණු තබා යති.

ස්වභාවික සංසාරයේ ස්වභාවික සංහාරයක ගොදුරක් වී ඔහු ගියද, ඔහු තබා ගිය සලකුණ නොනැසී පවතියි.

දිගු කතාවක් පසුබිමේ තබාගෙන තබන මේ කෙටි සටහන, මංගල ගැනය.

ලෝකය වෙනස් කිරීමේ ක්‍රීඩාව ඔහු දැන සිටියේය.

ඔහු ඒ ක්‍රීඩාවට අවතීර්ණ වූයේ, අලුත් වන්නට කැමැත්තෙනි. අලුත් කරනු කැමැත්තෙනි.

කතා දෙකක් නැත. මංගල යනු නොමැරෙන යව්වනයාය.

විස්කි වීදුරුවකට අයිස් කැට කීපයක් දැමූ විට, ඒ නිමේෂයේ පවතින තරුණකම ඔහුගේ මුළු දේශපාලන ජීවිතයේම මිහිදුමක් සේ පැවතිනි.

හවානා සුරුට්ටුවක සටන්කාමී සුවඳ මුසු දුම් රොටුවක් සේ ඒ මිහිදුම ඔහු වින්දේය.

ඒ ඇස බකුසු ඇස ය. සියල්ලන් විඩාබර වන ගොම්මනේදී ඒ ඇස තියුණුය.

ඒ මදහස මුව මදහසය. මුවකුගේ මෙන් ඒ මදහස ලොව දෙස හැරී පොපියයි.

ඒ හුස්ම මිනිස් හුස්මකි. මිනිසුන් ඝාතනය වෙනවාට මර්දනය වෙනවාට අකැමති මනුස්ස හුස්මකි.

වැරදි කිරීම්ද – නිවරැදි කිරීම්ද උගත් පාඩම් ලෙස ගත් මිතුරු හදවත මංගලගේය.

දේශපාලන සුරුවම්වාදයට එරෙහිව නිර්භීතව භාවිතයෙන් සටන් කළ මංගල,  සුරුවමක් වන්නට පැතූ මිනිසෙක් නොවේ.

ඔහු ඉල්ලන්නේ හෘදය සාක්ෂියට එකඟව ජාතිවාදයට ආගම්වාදයට නොවැටී ක්‍රීඩාව කරන ලෙසයි.

තම තමන්ගේ විලාසිතාව තම තමන්ට භාරයි.

දස දහස් ගණන් මිනිස්සු, මිලියන  බිලියන ට්‍රිලියන ගණන් මිනිස්සු, එති. යති.

ඇතැම් මිනිස්සු, ඇතැම් සලකුණු තබා යති.

මංගල.

Trending

Exit mobile version