Connect with us

විශේෂාංග

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව

Published

on

තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත.

ඔහු කියා තිබූ ආකාරයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නැති ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින, මෑතක් වන තුරු ඔහු ඇබිත්තකම් කළ රාජපක්ෂලා දැන් යම් එකඟතාවකට පැමිණ ඇත. හේතු කාරණා එකතු කරමින් ඔහු කියූ ඒ එකඟතාව වන්නේ ඔවුන් දෙගොල්ලන්ගේම වාසි වෙනුවෙන් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දින පැවැත්වීමය.

නීතිමය වශයෙන් එයට සෘජු බාධාවන් නැත. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයෙකුට ධුර කාලයෙන් වසර 04 ක් සම්පූර්ණ කළ පසු නැවත ජනාධිපතිවරණයකට යාමේ අවසරය ඇත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ඉන්නා වික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.

නමුත් පාර්ලිමේන්තුව තේරී පත් කෙරුණු දින සිට මාස 30 ක කාලය ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට ලබාදී ඇති අතර, මන්ත්‍රී බහුතරයක් සම්මත කරන්නාවූ පාර්ලිමේන්තු යෝජනාවක් මගින්ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකිය. එය සිංහල-දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දිනෙක පාර්ලිමේන්තුව කඳවා සම්මත කරගත හැකි යෝජනාවකි. ගැටළුව ඇත්තේ එකම දින ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා සහ මැතිවරණ දින ගලපා ගැනීමෙහිය.

මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරි සැප්තැම්බර 17 වන දින හෝ ඊට පසු මාසයක් ඇතුළත පැවැත්වෙන බවට වන නියමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළ යුත්තේ මැතිවරණ කොමිසම මගින්ය. එහිදී ජනාධිපති මැතිවරණ පනතට අනුව මැතිවරණ කොමිසම අනිවාර්යෙන් පිළිපැදිය යුතු දින වකවානු සම්බන්ධ කොන්දේසි කිහිපයක් ඇත.

(1) නාම යෝජනා බාර ගන්නා දිනය පූර්ව නියමය ප්‍රකාශ කළ දිනයේ සිට දින 16 ට පසු සහ දින 21 ක් ඇතුළත දිනයක් ලෙස නියම කළ යුතුය. එය එක් දිනකි. ඒ සමග නාම යෝජනා බාර ගන්නා ස්ථානය සහ වෙලාවන්ද ප්‍රකාශ කළ යුතුය.

(2) ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියම කළ යුත්තේ නාම යෝජනා බාර ගන්නා දිනයේ සිට සති 04 ට පසු සහ සති 06 ක් අවසන් වීමට පෙරාතු දිනයක ය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඒ කාල පරාස ඊට බෙහෙවින් වෙනස් ය.

01. නාම යෝජනා සඳහා දින නියම කළ යුත්තේ ගැසට් පත්‍රිකාවක් මගින් නියම කෙරුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දින සිට දින 10 ට පසු දිනයේ සිට දින 17 ක් කල් ඉකුත්වන දින පස්වරු 12 තෙක් ය. එහි අරුත නම් පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම සතියක කාලයක් පුරා සිදු කෙරෙන බවය.

02. මැතිවරණ දිනය තීන්දු කළ යුත්තේ නාම යෝජනා බාර ගැනීම අවසන් වූ දින සිට සති 05 ට පසු සහ සති 07 ක් ඉක්ම යෑමට ප්‍රථමයෙනි.  

මැතිවරණ දෙකක් වෙනුවෙන් වෙනස් දින වකවානු එක කාලසටහනකට ගැලපීම එතරම් පහසු කාරණාවක් නොවේ. ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය හා ජනාධිපතිවරණ දිනය සමග පාර්ලිමේන්තු මැතිවරණය ගැලපීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මැතිවරණ කොමිසම සමග කෙරෙන සාකච්ඡාවකින් පසුව තීන්දු කිරීමට සිදු වන්නකි. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින සැළසුම් කිරීම අනුව පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම හා මැතිවරණ දිනය ගලපා ගත යුතු හෙයිනි. ඉදිරි මාස 04 ක කාලයකදී එළෙසින් කාල සටහන් හැදීමට වඩා පහසු කාර්ය වන්නේ බහුතර මන්ත්‍රී යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සුපුරුදු පරිදි වෙන වෙනම පැවැත්වීමය.

එසේ නැතිව අයාලයින් මාධ්‍යයට කියන කතා අනුව ජනාධිපති වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ සම්මුතිය මත මේ මැතිවරණ දෙක එකවර පැවැත් විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනුව්‍යවස්ථා 104ආ(1) යටතේ වෙන් වෙන්ව නම්කර ඇති “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම” අතුරින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ එකවර එක් දිනෙක පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මැතිවරණ කොමිසමට බලය පැවරීමෙන් පමණි. ඒ අනුව නාම යෝජනා බාර ගැනීම සහ ඡන්දය පැවැත්වීම සම්බන්ධ ජනාධිපති මැතිවරණ පනතෙහි සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි ප්‍රතිපාදනද සංශෝධනය කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනත් එසේ සංශෝධනය කළ විට, ඊළගට මතුවන පරස්පරය වනුයේ ජනාධිපතිවරයාට වසර 04 ට පසු නැවත ජනාධිපතිවරණයකට යෑමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට සහ පාර්ලිමේන්තුව සිය ධුර කාලයෙන් මාස 30 ට පසු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් මත විසුරු වන්නට ඇති ප්‍රතිපාදනයට සිදු වන්නේ කුමක්ද යන්නෙහි ය. එවිට එකම දින මැතිවරණ දෙක පැවැත්වීමට එක්කෝ පාර්ලිමේන්තුව කල් තියා විසුරුවන දිනය අනුව ජනාධිපති ධූරය සඳහාද ජනාධිපතිවරණයක් තීන්දු කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හෝ වසර 04 ට පසු ජනාධිපති තම දෙවන ධුර කාලය සඳහා මැතිවරණයක් තීන්දු කළහොත් ඒ සමග පාර්ලිමේන්තුවද විසුරු හැරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබිය යුතුය. එවිට සිදුවිය හැක්කේ ජනාධිපති ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලය අනුව තීන්දු වීම හෝ පාර්ලිමේන්තුව අවුරුදු 04 ක් ඉක්ම වන තෙක් විසුරුවන්නට නොහැකි වීම හා ජනාධිතිවරණය අනුව එය තීන්දු වීමය.

එබැවින් දුර දිග බැලීමේ නොහැකියාවත් සමාජය වෙනුවෙන් වගවීමකුත් නැති දේශපාලන අයාලයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කියන කතා අනුව රටක මැතිවරණ ක්‍රියාවලි දිග හරින්නට හෝ හකුලන්නට නොහැක. බරපතලම ප්‍රශ්නය එවැනි ඕනෑම වාචාල කතාවක් මාධ්‍යවේදීන් ප්‍රශ්න නොකර ගෙනැවිත් ඒවා වැදගත් ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීමය. මාධ්‍යවේදීන්ටද සමාජ වගකීමක් ඇති බැව් අමතක වීමය.

– කුසල් පෙරේරා
2024 අප්‍රේල් 04

ජීවිතයට යමක්

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය අද යි

Published

on

By

අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි.  (World Creativity and Innovation Day )

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය නම් කරන ලදී.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින සැමරීම සිදුවිය.

නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද සැබවින්ම වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැකිය.

ස්කොට් ඇඩම්ස් විසින් මෙසේ පවසා ඇත.
“නිර්මාණශීලිත්වය යනු ඔබ විසින්ම ඔබට වැරදි කිරීමට ඉඩ දීමයි. කලාව යනු කුමන ඒවා තබා ගත යුතු දැයි දැන ගැනීමයි.”

මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මගට නිර්මාණශීලීත්වය සහ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත.

Continue Reading

විශේෂාංග

“හයේෂිකා ද ලෙජන්ඩ්!”

Published

on

By

හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක කොලිෆිකේශන්ස් ටික නං මට අනිවාර්යයෙන්ම අදාලයි සහ මම අනිවාර්යයෙන්ම අදාල කරගන්නවා.

මේ සර්ටිෆිකට් එකේ මට පේන හැටියට හයේෂිකාට තියනවා පහත සුදුසුකම්:

PhD in UK
PhD in USA
MA University of Kelaniya
BA University of Kelaniya

මෙන්න මේ සුදුසුකම් ලිස්ට් එක මාව ආකාර දෙකකින් පුදුමයට පත් කරනවා. මුලින්ම කියනවා නම්, අපිට තියන ඩිග්‍රියක් අපි ඔෆිෂියල් පේපර් එකක ලියනකොට ඒ ඩිග්‍රිය ලියන එක්තරා ක්‍රමයක් තියනවා. මේක ලෝකය විසින් සම්මත කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුස්සයෙක්ට ජීව විද්‍යාවෙන් ඩිග්‍රි තුනක් තියනවා කියලා. එතකොට ඒවා ලියවෙන්න ඕනේ මෙහෙමයි.

PhD in Biology
MSc. in Biology
BSc. in Biology

ඕනේම නම් අගට තමන් ඩිග්‍රිය ගත්තු යුනිවර්සිටිය සහ රට එකතු කරන්න පුලුවන්. හැබැයි මේ සර්ටිෆිකට් එකේ හැටියට හයේෂිකාට තියෙන්නේ UK සහ USA කියන ‘විෂයන්’ සම්බන්ධයෙන් PhDs දෙකක්!

අපි හිතමු හයේෂිකා මේ කියන්න උත්සාහ කරන්නේ එයාට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් PhD දෙකක් තියනවා කියන එක කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියමු. හැබැයි එතනදිත් මම ගොඩක් පුදුම වෙනවා. බැචලර් එකක් මාස්ටර් එකක් වගේ නෙමෙයි, PhD එකක් ගත්තු මනුස්සයෙක් තමන්ගේ ටයිට්ල් එක පාවිච්චි කරන්නේ පුදුම පරිස්සමකින්. මේ ටයිටල් එක් ඉතාම නිවැරදිව පාවිච්චි කිරීමේ ලොකු වගකීමක් ආචාර්‍ය පදවියක් දරන කෙනෙක්ට තියනවා. මේ සටහන කියවන ඕනම ඩොක්ටරේට් හෝල්ඩර් කෙනෙක් මං මේ කියන කතාවට සීයට සීයක් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ එක PhD එකක් තියන මනුස්සයෙක්ටත් ටයිටල් එක නිවැරදිව භාවිතා කිරීමේ වගකීම බරින් දැනෙනවා නම්, හයේෂිකා වගේ PhD දෙකක් තියන මනුස්සයෙක්ට ඒ බර කොහොම දැනෙන්න ඕනද!

අන්න ඒ පලවෙනි පුදුමයත් එක්ක තමයි මට දැනෙන දෙවනි පුදුමය එන්නේ. හයේෂිකා ඔය කියලා තියන සුදුසුකම් ඇත්‍තටම හයේෂිකාට තියනවද? අවංකවම කල්පනා කරලා බැලුවොත් මිත්‍රවරුනි, බැචලර් එකයි, මාස්ටර් එකයි, පීඑච්ඩී දෙකයි උපයගන්න අවම තරමේ හයේෂිකාට අවුරුදු පහළවක්වත් යන්න ඕනේ. මම කියන්නේ නෑ ඒක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි ඒක වෙන්න අමාරු දෙයක්. හයේෂිකා ඇත්තටම ඔය කියන ඩිග්‍රීස් ටික ඇචීව් කරගෙන තියනවා නම් ආයේ තර්කයක් නැතුවම කියතැහැකි “හයේෂිකා ද ලෙජන්ඩ්!” කියලා. හැබැයි හයේෂිකා මේ කියන හපන්කම ඇත්තටම කරලා නැති නම්…

ඊළඟට මට පේනවා හයේෂිකා හරිම ක්‍රියේටිව් ටයිටල් එකක් එයාගේ නම පිටිපස්සෙන් ඈඳාගෙන ඉන්නවා කියලා…

‘Hon Doctor Democratic Socialist Republic of Sri Lanka’

මං ලෝකේ රටවල් හතක ඇකඩමික් ෆීල්ඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක් විදිහට දිවුරලා කියන්නේ මිත්‍රවරුනි, මේ සම්මජ්ජාතියකට මං මෙහෙම ටයිටල් එකක් මගේ ඇහෙන් දැකලත් නෑ. කනෙන් අහලත් නෑ. හැබැයි ඉතින් හයේෂිකාට ඕන කරලා තියෙන්නේ තමන්ව ‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය ආචාර්ය පට්ටමක් හිමි තැනැත්තියක්’ කියලා හඳුන්වන්න වෙන්න පුලුවන්. අන්න ඒක එහෙම නම් මිත්‍රවරුනි මට හයේෂිකා ගැන හේතු දෙකක් නිසා දුකයි. එක, හයේෂිකාට තියන සුලුපටු නොවෙන හීනමානය ගැන මට දුකයි. දෙක, ඕක ලියන්න ඕනේ ‘An Honarary/Honorable Doctor in Democratic Socialist Republic of Sri Lanka’ කියලා කියලදෙන්න පුලුවන් කවුරුත් හයේෂිකාට නැති එක ගැනත් දුකයි. හැබැයි හයේෂිකා මේ සර්ටිෆිකට් එකේ හීනමානෙන් හරි මොන මානෙන් හරි ලියලා තියන මේ අපබ්‍රංසේට කිසිම පදනමක් නැත්තම්… තව විදිහකට කියනවා නම්, මේ කියන විදිහේ ආචාර්‍ය පට්ටම් දෙකක් හෝ අඩුම තරමේ එකක්වත් හයේෂිකාට ඇත්තටම නැත්තම්…

… මට හයේෂිකාට මෙන්න මේ ටික ඉතාම අවධාරණයෙන් කියන්න ඕනේ.

Hayeshika Fernando

ඔයා මේ අපබ්‍රංස ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ගමින් ගමට සංගීත සංදර්ශන තියන්නවත්, ඇකඩමික් ෆෝරම්වල කතා පවත්තන්නවත්, ඡන්දෙ ඉල්ලන්නවත් නෙමෙයි. ඔයා මේ ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ඔයාගේ ක්ලාස්වලට (හෝ බිස්නස් එකට, whatever!) පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න. තව තේරෙන සිංහලෙන් කිව්වොත්, ඔයාගේ මේ ටයිටල්ස් ටික ඩොම්බ පච නම්, ඔයා කරන්නේ මේ රටේ සමස්ත දරු පරපුරක් මහ දවල් රවට්ටන එක. හයේෂිකා ඔයා දන්නවාද දන්නෑ. හැබැයි දරුවොන්ට ලැබෙන්න ඕනේ මේ ලෝකේ හොඳම දේවල් විතරයි. හො-ඳ-ම දේ-ව-ල් වි-ත-ර-යි. මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ඒ බව දන්නවා ඇති කියලා සහ ඔයා ඒ බව බරින් ගන්නවා ඇති කියලා. යම් හෙයකින් ඔයා මේ කරන්නේ හොඳම දේවල් ලැබිය යුතු දරුවොන්ට හොඳම දේ ලබා දෙනවා කියලා අඟවමින් ඒගොල්ලන්ට හොඳම දේ ලබා නොදීම නම්, මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හෘද සාක්ෂිය ඔයාව හැම රෑකම ඇහැරවලා තියන්න ඕනේ කියලා.

මේ ලෝකයේ ඉවසිය යුතු ගොඩක් දේවල් තියනවා. හැබැයි හයේෂිකා, දරුවොන්ට මොන ආකාරයකින් හෝ ඩැමේජ් කිරීම කියන්නේ ඒවැයින් එකක් නෙමෙයි.

✍️

  මීට,

Dr. Amavi N. Silva
(PhD in Ocean and Earth Science, University of Southampton, United Kingdom)

උපුටා ගැනීම – Dr. Amavi N. Silva ගේ මුහුණු පොතෙනි

Continue Reading

විශේෂාංග

ලොවම කම්පා කල වසරේ ඡායාරුව

Published

on

By

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.

කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් (Samar Abu Elouf) විසින් මෙම ඡායාරූපය ගෙන තිබේ.

මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය.

බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.

මෙම ඡායාරූප ශිල්පියා අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇත.

අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.

ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved