Connect with us

විශේෂාංග

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

Published

on

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට දැවැන්ත උත්සාහයක නිරත වේ. එම ව්‍යාපෘතියට අනුව රක්ෂිත වනාන්තර යනු තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණ හෝ ජල සුරක්ෂිතතාව සඳහා හෝ දේශගුණික විපර්යාස ඇතුළු ස්වාභාවික විපත් පාලනය කරන පරිසර තුළිතතාව පවත්වාගෙන යාමට වැදගත් වනල සියලු ජීවීන්ට රැකවරණය සලසන ස්වාභාවික සම්පත් නොව ආර්ථික භාණ්ඩයක් බවට පත් කළ හැකි වෙළෙද භාණ්ඩයක් බවට සිතන සමාජයක් ගොඩනගමින් තිබේ.

මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් විසින් ඉතා හොඳින් වැළදගෙන ඇත. සමහර රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කළ රක්ෂිත වනාන්තර වටා පිහිටි රක්ෂිත නොවන වනාන්තර එම රක්ෂිතවලට ඈදීම සිදු කරන්නේ ද මෙය ඉලක්ක කර ගෙන ය. ඒ අනුව ඔවුන් උත්සාහ දරන්නේ වන රක්ෂිත හා සංරක්ෂිත වනාන්තර සියල්ල විනෝදාස්වාදය සඳහා පමණක් වෙන් වූ සංචාරක කර්මාන්තයේ ගොදුරක් බවට පත් කිරීමට ය. ඒ සඳහා රක්ෂිත වනාන්තර තුළ මාර්ග හා ගොඩනැගිලි ඉදි කරමින්ල විනෝදාස්වාදය පමණක් පදනම් කර ගත් සංචාරක කර්මාන්තයට ගොදුරු කරමින් තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් බොහෝ කැමැත්තක් දක්වන්නේ රක්ෂිත වනාන්තර තුළ මාර්ග ඉදි කිරීමට හා ගොඩනැගිලි ඉදි කිරීමට ය. ඔවුන් වන අපරාධ මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ රක්ෂිත වනාන්තරයේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නීති ක්රියාත්මක කිරීම හෝ රක්ෂිත වනාන්තර අවට ජීවත් වන ජනතාවගේ ආකල්පමය වර්ධනයක් ඇති කර රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගැනීම හා ජන ජීවිතය සුරක්ෂිත කර ගැනීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ඉදිකිරීම් කොන්ත්රාත්තු සිදු කිරීමට ය.

මේ තත්ත්වයට අද වන විට සිංහරාජ වන රක්ෂිතය හා ජාතික උරුම වන භූමිය ලක් වෙමින් තිබේග ලෝක බැංකු ණය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) පළමු අදියරේ දී සිංහරාජයේ කුඩව වනාන්තර පිවිසුම ආශ්‍රිත වන මං සංවර්ධනය කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිමත බලය භාවිත කරමිනිග පරිසරය පිළිබඳ අවබෝධයක් සහිත බොහෝ දෙනෙක් මේ සඳහා විරෝධතාවය පළ කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ගේ වුවමනා ව මත සිංහරාජ වනාන්තරය තුළ අඩි 10 ක් පමණ පළල හා කිලෝමීටර 2 ක් පමණ දිග මාර්ගය කොන්ක්රීට් ගල් අතුරා සකස් කිරීමල ජල මාර්ග කොන්ක්රීට් අතුරා සකස් කිරීම ඇතුළු ඉදිකිරීම් ගණනාවක් වනාන්තරය තුළ සිදු කෙරින. ඒ සමඟ ම ඒ ආශ්‍රිත ජීවීන් විශාල ප්‍රමාණයක් හා එම සතුන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන සියල්ල ම එම ජීවීන්ට අහිමි විය. වනාන්තරය තුළ ජලය බැස යන මාර්ග කොන්ක්‍රිට් අතුරා සකස් කිරීම නිසා පස් කණ්ඩි තුළ ගුල් හාරා ගෙන ජීවත් වන මිරිදිය කකුළුවන් ගේ වාසස්ථානල උභයජීවීන් බෝවන ස්ථාන එම සතුන්ට අහිමි විය. සිංහරාජය තුළ පෙර පැවති වන මං ආශ්‍රිත ව හමු වූ පිණුම් කටුස්සන්ල පළා පොළගුන් වැනි සතුන් අද වන විට දැක ගන්නට නොලැබෙන තත්ත්වයට පත් කිරීමට මෙම අවිධිමත් සංවර්ධන කටයුතු හේතු වී තිබේ.

කොන්ක්‍රිට් ගල් අතුරා සිංහරාජ වනාන්තරය තුළ සකස් කළ වන මං අද වන විට සංචාරකයන්ට භාවිතයට ගත නොහැකි ලිස්සන සුළු මාර්ග බවට පත් වී ඇත. එපමණක් නොව වනාන්තරය තුළ පිහිටි එම මාර්ගවල වාහන ගමනාගමනයට ද අවස්ථාව ලබා දෙමින් තිබේ. සමහර ස්ථානවල පස් කඳු නායේ යාමට ලක් වන තත්ත්වයට ද පත් වී ඇත. එම තත්ත්වය පාලනය කිරීමට රුපියල් මිලියන ගණනක් වැය කර ගල් වැටි ඉදි කිරීමට ද සිදු වී ඇත.

මේ සියලු පූර්වාදර්ශ පවතිද්දී පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මීලඟ අදියර යටතේ අද වන විට සිංහරාජයේ කුඩව වන පිවිසුමේ දෙවන ඇතුළුවීමේ සිට පර්යේෂණ මධ්‍යස්ථානය දක්වා පිහිටි වනාන්තර මාර්ගය අඩි 8ක් පළලට කොන්ක්‍රිට් ගල් අතුරා සකස් කළ මාර්ගයක් බවට පත් කිරීමට හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අලුතින් ගොඩනැගිලි ගණනාවක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට ද සූදානම් වේ.

වනාන්තරය තුළට දිගින් දිගට ම ඉදිකිරීම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සිංහරාජ අඩවියේ සංරක්ෂණය වෙනුවට විනාශයට මාර්ග සැකසීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී කෝපි හා තේ වගාවෙන් අහිමි වූ සිංහරාජ අඩවියේ වන විනාශය හැත්තෑව දශකයේ දී කොස්ගම තුනී ලෑලි සමාගමට දැවමය ශාක කැපීමෙන් සිංහරාජ අඩවියේ වන විනාශය වර්ධනය විය. ඉන් පසු ව වරින්වර පහතරට තේ වගාව හා ජනාවාස ව්‍යාප්ත කිරීමට සිංහරාජ අඩවියේ වනාන්තර එළිපෙහෙළි කෙරින. ඒ මගින් සිංහරාජ අඩවියට සිදු වූ හානිය සුලු පටු නැත. අද වන විට ඒ තත්ත්වය තවත් ආකාරයකින් වර්ධනය කිරීමට සිංහරාජ අඩවියේ භාරකාරත්වය දරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

අඩි 8 ක් පළල කොන්ක්‍රිට් ගල් ඇතිරූ මාර්ගයක් බවට සිංහරාජය තුළ පිහිටි වන මං තවදුරටත් පරිවර්තනය කිරීමෙන් වනාන්තරය තුළ මීවන ශාක සහිත කලාප හා ආවේණික ශාක සහිත කලාප බොහොමයක් සිංහරාජ අඩවියට අහිමි වනු ඇත. එම ප්‍රදේශය බොහෝ ජීවීන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන හා ගොදුරු බිම් ප්‍රදේශ වේ. ඒවා සියල්ල මෙම ව්‍යාපෘතිය සමඟ ම අහිමි වනු ඇත. මේ පිළිබඳ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ අඩවියේ සේවය කරන නිලධාරීන්ට අවබෝධයක් නොමැති වීම හා මුදල් ඉදිරියේ සිංහරාජයේ රැකවරණය පිළිබඳ ව අමතක කිරීම පිළිබඳ ව අප කණගාටු වෙමු.

සිංහරාජ වනාන්තරයේ මාර්ග ඉදි කර විවෘත වූ බොහෝ ප්‍රදේශ වල කටකළු බෝවිටියා හා කහ දියපර වැනි ආක්රමණික ශාක ව්‍යාප්තිය දරුණු ලෙස සිදු වීම නිසා භෞමික උඩවැඩියාල මීවන ශාකල අක්මා ශාකල පාසි ශාක හා යටි ස්ථරයේ ශාක බොහොමයක් විනාශ වී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඒ මත යැපෙන සත්ත්ව විශේෂවලට ද එම තත්ත්වය දරුණු ලෙස බලපා ඇත. මෙවන් කරුණු පිළිබඳ ව අවබෝධයකින් තොර ව වනාන්තර තුළල වන ආවරණය විවෘත කරමින් ඉදි කිරීම් සිදු කිරීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි කරුණු පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරන බව ය.

මෙවන් අතලොස්සක් වූ හානි කර නිලධාරීන්ගෙන් රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගත හැකි වේද යන්න ගැටළුවකි. හානි කර ව්‍යපෘති කඩිනමින් වැළඳ ගන්නා එවන් නිලධාරීන් වන සංරක්ෂණය වෙනුවට භෞතික සංවර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කරති. මේ තත්ත්වය අපට පළමු ව අත් විදින්නට ලැබුණේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ය. මෙම රක්ෂිතයේ ඉතා ම වැරදි ස්ථානයක පිටවල පතනේ සංචාරක මධ්යස්ථානයක් ඉදි කිරීම නිසා බොහෝ ආවේණික ජීවීන් රටට අහිමි වෙමින් තිබේ. පිටවල පතන ආශ්රිත ව ජීවත් වන නකල්ස් කඳුකරයට ආවේණික දුම්බර ගල්පර මැඩියා හා දුම්බර පතන් අල ශාකය සංචාරකයන් මෙම ප්‍රදේශයේ අධික ව ගැවසීම නිසා විනාශයට ලක් වෙමින් තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ මෙම ඉදි කිරීම් හේතුවෙන් සිදු විය හැකි තත්ත්වය පිළිබඳ ව පෙන්වා දුන්න ද බලහත්කාරයෙන් මෙම ඉදිකිරීම් කිරීමේ ප්‍රතිඵල අද වන විට අද්දකින්නට තිබේ. මෙවන් පූර්වාදර්ශ මත ඉගෙනුම් ක්‍රියාවලියක් නොමැති වීම තුළ සිදු වන අනර්තය ඉතා ම විශාල ය.

මේ සියල්ල අවබෝධ කර ගත් සමාජයක් ගොඩ නැගීමට පහසු නැතග නමුත් අවබෝධයක් සහිත ජනතාව හෝ මෙම සම්පත් ආරක්ෂා කර ගැනීමට යොමු විය යුතු ය. එසේ නොමැතිවුවහොත් සිදු වන්නේ මුදලට කෑදර නිලධාරීන් ඉදිරියේ ඔවුන් ගේ භාරයේ පවතින සම්පත් ඔවුන් විසින් ම විනාශ කර දැමීම ය. මුදල් පසුපස හඹා යන ඉදි කිරීම් කොන්ත්රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන නිලධාරීන් විසින් සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ද නැත.

රක්ෂිත වනාන්තර තුළට සංචාරක පහසුකම් ගෙන ඒම වෙනුවට සිදු කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර ව එහි මායිමේ සංචාරක පහසුකම් ඇති කිරීම ය. සංචාරක පහසුකම් වැඩි කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර කලාපයේ ය. ඒ තුළින් රක්ෂිතයට සිදු වන අහිතකර බලපෑම් පාලනය කර ගත හැකි ය. රක්ෂිත වනාන්තර යනු වෙළෙද භාණ්ඩයක් නොවන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවබෝධ කර දිය යුතු ය.

සංචාරකයන්ට විවෘත කළ යුතු වන්නේ ඉතා ම සංවේදී පරිසර පද්ධති වලින් තොර කලාපය ය. එපමණක් නොව භෞතික ඉදි කිරීම්වල වටිනාකම මත ස්වාභාවික වනාන්තර තුළ සංචාරක කටයුතු ප්රවර්ධනය කිරීමට උත්සාහ නොදැරිය යුතු ය. එසේ කළ හොත් සිදු වන්නේ රක්ෂිත වනාන්තරය කෙටි කාලීන ව විනාශයට ලක් වීම ය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන වන සංරක්ෂණය පිළිබඳ ව උනන්දුවක් හා අවබෝධයක් නොමැති නිලධාරීන්ට තේරුම් කර දිය යුතු ය. එසේ නොමැතිවුවහොත් එම නිලධාරීන් කිහිපදෙනා නිසා සමස්ත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි පාලනයේ පවතින වනාන්තර සියල්ල විනාශයට ලක් වනු නොඅනුමාන ය.

මේ නිසා සිංහරාජ අඩවියේ රැකවරණය තහවුරු කිරීමට නම් කඩිනමින් කළ යුතු වන්නේ 2004 ජූලි 22 වන දින PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියළු ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්ල 1972 ප්‍රතිසංස්කරණ ඉඩම් නීතියේ 22 (1 ) ඊ සහ 44 (ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම කඩිනම් කිරීම ය. වසර 18 ක් ගත වී ඇති නමුත් මෙම කැබිනට් පත්‍රිකාව අනුව සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට නියමිත හෙක්ටයාර 2508.4 ක සුවිශේෂී වනාන්තර ඉඩම්ප්‍රමාණය තව ම රක්ෂිත වනාන්තරයට ක්‍රමානුකුලව අත්පත් කර නොගැනීම නිසා අනාරක්ෂිත ව පවතී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන මෙම වනාන්තර ඉඩම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වන විට බදු දී තිබේග මාතර දිස්ත්‍රික්කයේ එන්සල් වත්තල කුරුගල වත්තල බෙවර්ලි වත්තල හේමගිරි වත්ත. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැලේ වත්තල ෆැබ් වත්තල ඉලුබකන්ද වත්තල මෝර්නින් සයිඩ් වත්තල කැන්ටර් වත්තල හේස් වත්තල ගොන්හෙළ වත්තල ඇබේරෝස් වත්තල බැක්වෙයා වත්තල කෝදුරාගල වත්තල දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත්රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මෙම වනාන්තර බිම් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක නොවනතාක් කල් මෙම වනාන්තර බිම් තේ වගාව හා එනසාල් වගාව සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම හා සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යපෘති සඳහා මතුරට වැවිලි සමාගම හා එල්. ඕ. එල්. සී. සමාගම වැනි සමාගම් විසින් වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ.

මෙම වනාන්තරවලින් කොටසක් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙකු ගේ දැඩි කැපවීම මත පවරා දී ඇත. නමුත් අනෙක් වනාන්තර කඩිනමින් පවරා ගැනීමට හා ඉන් පසුව ගැසට් නිවේදනයක් මගින් එම සමස්ත වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට සම්බන්ධ කිරීමට සංචාරක ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට සිංහරාජය තුළ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ගන්නා කඩිනම් උත්සාහයන් මෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. වතු සමාගම් මගින් මෙම සුවිශේෂී වනාන්තර සියල්ල විවිධ භාවිතාවන්ට ලබා ගෙන අවසන්වන තුරු සමාගම්වල ග්‍රහණයේ සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලා සිටින බව මේ වන විට තහවුරු වී ඇත. මෙය වැළැක්වීමට පරිසරය ගැන සිතන සියලූ ම දෙනා ගේ මැදිහත්වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කර ව්‍යාපාරය

විශේෂාංග

කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් !

Published

on

By

මේ සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කළ යුතුම ප්‍රවෘත්තිය වූයේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන වාරිකය අනුමත කිරීමයි. 

ඩොලර් මිලියන 336ක තුන්වන වාරික මුදල ලබාදීමත් සමගින් ආර්ථිකය නැවත යථා  තත්වයට පත්කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරමින් මෙරට මූල්‍ය පාලනයක් සහ මුල්‍ය විනයක් ඇති කිරීමේ වැඩ සටහන තව දුරටත් ශක්තිමත් කිරීමට රජයට හැකියාව ලැබෙනවා ඇත. අනුමත කර ඇති මුලු ණය මුදල ඩොලර් බිලියන තුනකි.

ජා.මු.අ. නියෝජ්‍ය පාලන අධ්‍යක්ෂ Kenji Okamara සඳහන් කර ඇත්තේ පසු විපරම් අනුව ශ්‍රී ලංකාව අනුමත කර ඇති ඩොලර් බිලියන 3ක මුදලින් තුන්වන වාරිකය ශ්‍රි ලංකාවට ලබාදෙන බවයි. 

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඵලදායිතාවය ඉහළ අගයක තිබුණත් ආර්ථිකය තවමත් පවතින්නේ චංචල සහ පසුගාමී තත්ත්වයක බවයි.

තිරසාර ණය කළමනාකරණයන් සඳහා යන ගමනේ ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය තවමත් පවතින්නේ පිහිතලයක අග බවයි. 

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ වහා කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. 

IMF වාර්තාවේ පහත   සඳහන් සටහන් රජයටත් විපක්ෂයටත් ඉතාමත් වැදගත් වන බවය අපගේ හැගීමයි. නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ 

IMF එක පැත්තෙන් කියලා තිබුණේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් තියන බවත්, ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සම්පුර්ණ කරලා තියනවා කියලයි.

ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බවත්,  ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීම,ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම, මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තවදුරටත් ගත යුතු බව IMF එක පැත්තෙන් අවධාරණය කරලා තිබුණා.

දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සඳහන් කරන්නේ විධායකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හදිසියේ ඇති කරගන්නා ලද එකඟතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. 

තුන්වන වාරිකය ලැබුණද ඊට පෙර ණය හිමියන් නියෝජනය කරන පැරිස් සමාජය ( Paris Club) ඉන්දියාව සහ චීනය අතර ඇති කරගත යුතු ණය ප්‍රතිව්‍යුහගත   කිරීමේ එකඟතාවය දිනෙන් දින කල් යන බවත්ය. 

විදේශීය ස්වෛරී අරමුදල් හිමියන් (Sovereign Bond Holders )අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඔවුන් විසින් නව කොන්දේසි පැනවීම සහ ණය කපා හැරීම (Hair cut )7.5% දක්වා අඩු කිරීමට යෝජනා කිරීම නිසා එම සාකච්ඡා ද අතර මග නතර වී ඇත. 

2027 දක්වා ණය වාරික ගෙවීම ප්‍රමාද කළ හැකි වුවත් මේ වන විට එනම් 2022 තිබූ රාජ්‍ය  ණය ප්‍රමාණය නැවතත් ඉහල ගොස් තියනවා. අලුතින් ගන්නා ලද ණය සහ උපචිත පොලිය සමග පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මෙය අනතුරුදායක තත්ත්වයක්.  (Alarming situation)

ශ්‍රි ලංකවේ ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 100 ඉක්මවයි. !! 

සමහර සාර්ව ආර්ථික බැරෝමීටරවල ආන්තික වැඩිදියුණු කිරීම් මධ්‍යයේ සහ සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවද 

ශ්‍රී ලංකාවේ ණය කන්දරාව ඇමෙරිකානු ඩොලර් බිලියන 100.18 දක්වා ඉහළ ගොස් ඇති අතර තෝරාගත් ණය සඳහා නොගෙවූ මූලික හා පොළිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ඉක්මවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නය ඩොලර් බිලියන 12 කට වඩා නොගෙවා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 500ක ISB ණය මුදලක් මේ මස අගදී ගෙවීමට නියමිත අතර ශ්‍රී ලංකාව දැන් ආසියානු සංවර්ධන බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක්) සහ ලෝක බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක්) ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5ක් ණය වී ඇත. 

මූල්‍ය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ පළමු කාර්තුවේ රාජ්‍ය ණය දත්ත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා යටතේ නිකුත් කර ඇති අතර, දේශීය ණය දෙසැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 52.64 සිට ඇමරිකානු ඩොලර් බිලියන 57.28 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරයි – එය ආසන්න වශයෙන් 9% ක වැඩිවීමකි.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ බාහිර ණය සඳහා සේවා සැපයීම අත්හිටුවීමෙන් පසු, නොගෙවූ ණය සේවාව ඩොලර් බිලියන 4.45 දක්වා ගොඩගැසී ඇති අතර, නොගෙවූ පොලී පසුගිය වසර අවසන් වන විට ඩොලර් බිලියන 2.08 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වලින් පිලිබිඹු වේ.

2023 දෙසැම්බර් අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 96.17 කි. ඒ, මූල්‍ය හා මූල්‍ය නොසැලකිලිමත්කම සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන් විසින් තල්ලු කරන ලද පෙර නොවූ විරූ ආර්ථික බිඳවැටීමෙන් වසරකට පසුවය.

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව නැවත නැවතත් සාර්ව ආර්ථික ප්‍රථමාධාර සපයා ඇති අතර විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළ විවිධ තීරණාත්මක ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබා දී ඇත. බහුපාර්ශ්වික ණයවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් දරන බව දත්ත පෙන්වා දෙයි. රට පසුබෑමකට ලක්ව සිටියදී ලිට්‍රෝ ගෑස් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 70 ක ණයක් සමඟ ඉවුම් පිහුම් ගෑස් නැව්ගත කිරීම සඳහා මූල්‍යාධාර ලබා දුන්නේ ලෝක බැංකුවයි, දෙසැම්බර් මාසයේ ‘අස්වැසුම’ මුදල් ආධාරය ඇතුළුව අයවැය ආධාර වශයෙන් ඩොලර් මිලියන 500 ක් ලබා දුන්නේ ය.

ලෝක බැංකුව විසින් පොලී අනුපාත අවදානම් අවම කිරීම සඳහා (ඇ.ඩො. මිලියන 38 ක පමණ අනාගත පොලී ගෙවීම් සඳහා විභව ශුද්ධ වර්තමාන අගය ඉතුරුම්) සහ මූල්‍ය අවදානම් සහ ද්‍රවශීලිතා කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පුහුණු කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 672.3ක් වන අතර මේ සතියේ එම ප්‍රමාණය තවත් ඩොලර් මිලියන 331 කින් ඉහල යනු ඇත.

රට ණය වී ඇති ණය කන්දරාව පිළිබද ජනතාව දැනුවත්වීම ඉතා වැදගත්වන අතර මේ සා විශාල ණය කන්ද ගෙවා අවසන් කරන දවසක් පිළිබදව අපට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

සතියේ ආර්ථික විමසුම
සේන සූරියප්පෙරුම

Continue Reading

විශේෂාංග

Blockout: ජනප්‍රිය පුද්ගලයින් පරිශීලකයින් විසින් අවහිර කිරීමේ සමාජ මාධ්‍ය ප්‍රවණතාව

Published

on

By

ජනප්‍රිය පුද්ගලයින් අවහිර කරන (Block) ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මැයි මස මුල් සති අන්තයේ අවධානය ලබා ගත්තේ ය.

ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කිරීමට සහ අවහිර කළ යුතු අයගේ ලැයිස්තු පළ කිරීමේදී #blockout සහ #blockout2024 යන හැෂ් ටැග් යොදනු ලබයි.

ලොව පුරා සිදුවන මනුෂ්‍ය ව්‍යසන සහ යුද්ධ, විශේෂයෙන් ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් හඬ නැගීමට අපොහොසත් වීමේ හේතුව මත මෙම ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක වී තිබේ.

එම හැෂ් ටැග් දැනටමත් කලක සිට භාවිත කර ඇතත්, ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ, ආකර්ෂණීය ඇඳුම්වලින් සැරසුණු ජනප්‍රිය පුද්ගලයින් සහභාගි වන ඇමෙරිකාවේ අරමුදල් රැස්කිරීමේ උත්සවයක් වන Met Gala උත්සවයෙන් පසුව ය.

ඔවුන්ගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබිය හැකි ඉපැයීම් අවහිර කිරීමෙන් ඔවුන්ගේ ආදායම් අවහිර කිරීම අරමුණ විය.

අවහිර කිරීම ආරම්භ වූයේ කෙසේ ද?

The Met Gala නමැති අරමුදල් රැස් කිරීමේ උත්සවය, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙනුවෙන් මැයි 6 වන දා පැවැත්විණි.

එය වසරේ වඩාත් ම අවධානය යොමු වූ රතු පලස් විලාසිතා ඉසව්වලින් එකක් වන අතර, ඊට ලෝකයේ ධනවත්, ප්‍රසිද්ධ විශාල පිරිසක් සහභාගී වන නමුත්, මෙවර එය ගාසා යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන්ගේ අවධානයට ලක් විය.

මීට පෙර පැවති Met Gala උත්සව හරහා දේශපාලන පණිවිඩ ඉදිරිපත් වී තිබේ. එනම් 2021 වසරේදී ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සිය පිටකොන්දෙහි “ධනවතුන්ට බදු ගසනු” යනුවෙන් සඳහන් පණිවුඩයක් සමග සහභාගී වූ අතර, තවත් ජනප්‍රිය පුද්ගලයින් #MeToo ව්‍යාපාරයට හෝ යුක්රේනයට සහය දැක්වීම සඳහා විශේෂිත ඇඳුම්වලින් සැරසී ඊට සහභාගි වී තිබේ.

ඔකාසියෝ-කෝර්ටෙස් “Tax the Rich” යනුවෙන් සඳහන් ඇඳුමෙන් සැරසී

මැයි 8 වන දා, @BlockOut2024 නම් TikTok භාවිත කරන්නෙකු, “ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කරන්න. එවිට ඔවුන්ට ඔබෙන් දැන්වීම් හරහා ආදායමක් ඉපයීමට නොහැකිය” යනුවෙන් වෙනත් පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා වීඩියෝවක් පළ කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එය මිලියන 2.4 වාරයක් නරඹා තිබිණි.

පසු දිනයේ, ladyfromtheoutside නමින් හැඳින්වෙන තවත් TikTok භාවිත කරන්නෙකු, නිරූපිකාවක වන හැලේ කලීල්ගේ වීඩියෝවක් උපුටා දැක්වූ අතර, එහි ඇය ප්‍රංශ විප්ලවයට පෙර අවසන් ප්‍රංශ රැජිණ වූ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මාරි ඇන්ටොයිනෙට් මෙන් “ඔවුන්ට කේක් කන්න දෙන්න” යනුවෙන් කියනු දැකිය හැකි ය.

මාරි-ඇන්ටොයිනෙට් ගිලටීනයට හසු කිරීමෙන් ඝාතනය කරනු ලැබුවේ, සාමාන්‍ය ජනයාගේ දුක් වේදනාවලින් බැහැර වූ රාජකීය පවුලක් සමග පැවති සම්බන්ධය නිසා ය.

ඇයගේ ඇඳුම ගැන සඳහන් කිරීම පමණක් අරමුණු කළ නිරූපිකාවගේ අදහස් ඒ හා සමානව ම අසංවේදී බවට විවේචනයට ලක් විය.

මුල් වීඩියෝව උපුටා දක්වමින් ladyfromtheoutside පැවසුවේ: “ජනතාවට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා, මම ඩිජිටල් ගිලටීනය කියලා හඳුන්වන්න කැමති දේ ක්‍රියාවට නංවන්න.”

“උග්‍ර අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා තම සම්පත් භාවිතා නොකරන සියලු ම ප්‍රසිද්ධ පුද්ගලයින්, සමාජීය බලපෑම් කරන්නන් සහ ධනවතුන් අවහිර කිරීමට කාලයයි,” ඇය දින හතරක් තුළ ලයික් 580,000ක් ලැබුණු පෝස්ට් එකක සඳහන් කර තිබිණි.

එම පෝස්ටුව සඳහා පළ කර තිබූ බොහෝ අදහස් මගින් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර තිබුණේ, ඔවුන් ඔවුන්ගේ අදහස් ගැන කතා කළහොත් ගිවිසුම් අහිමි වේ යැයි බියෙන් පසු වන බවට ය.

එය ව්‍යාප්ත වූයේ කෙසේ ද?

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳව ලිවීමට හෝ වීඩියෝ සැකසීමට පටන් ගත්හ.

එකී සති අන්තයේදී “blockout” යන වචනය සහිත පළ කිරීම් පිළිබඳ ෆේස්බුක් අන්තර්ක්‍රියා (interactions) 10 ගුණයකින් පමණ වැඩි විය.

“blockout” යන වචනය ගූගල් තුළ සෙවීම හත් ගුණයකින් ඉහළ ගියේ ය.

ඇතැම් පුද්ගලයින් අවහිර කළ යුතු ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක් හුවමාරු කිරීම ආරම්භ කළහ.

පුද්ගලයන් විසින් සාදන ලද ලැයිස්තුවල වෙනස්කම් පැවතිණි. එහෙත්, කිම් කාර්ඩේෂියන්, ටේපර් ස්විෆ්ට්, බියොන්සේ, ජස්ටින් බීබර්, සෙන්ඩේයා, කාන්යේ වෙස්ට්, මිලී සයිරස් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇතැම් ලැයිස්තුවල ඇතුළත් කර තිබේ.

කිම් කාර්ඩේෂියන් මේ වසරේ Met Gala උත්සවයේදී

ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට, ඔවුන් ෆලෝ කරන ගිණුම් පමණක් නොව ඇතැම් විට ඔවුන් ෆලෝ නොකරන ගිණුම් ද, “for you”, “suggested” හෝ “explore” යනුවෙන් හඳුන්වන තීරු තුළ පෙන්වයි.

ගිණුම් අවහිර කිරීමෙන්, එවැනි තීරුවල ඔවුන් ව නොපෙන්වන බවට තහවුරු වේ.

විරෝධතාවයෙන් සිදුවූ බලපෑම කුමක් ද?

is කොපමණ පිරිසක් විසින් ගිණුමක් අවහිර කරනු ලැබ ඇත්දැයි බැලීමට හැකියාවක් නොමැති හෙයින් සංඛ්‍යාත්මකව බලපෑම මැනිය නොහැකි ය.

එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය යෙදුම්, භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිණුමක් අවහිර කරන විට එය අන්ෆලෝ කරන ලෙස ය.

සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ වෙබ් අඩවියක් වන Social Blade වෙබ් අඩවියට අනුව, වඩාත් ම විවේචනයට ලක්වූ නිරූපිකාව වන හැලේ කලීල්ට, TikTokහි අනුගාමිකයින් (followers) 100,000 ක් පමණ අහිමි වී ඇති අතර එහි අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 10 සිට මිලියන 9.9 දක්වා පහත වැටී ඇත.

අවහිර කිරීම සඳහා යෝජනා කළ ලැයිස්තුවල ඇතුළත්ව සිටි අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින්, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ සංඛ්‍යාවේ විශාල වෙනසක් දැක නැත.

කෙසේ වෙතත්, විශාල පිරිසක් එම ගිණුම් අවහිර නොකරන බව ඉන් අදහස් නොවේ: අවහිර කරන සමාජ මාධ්‍ය භාවිත කරන්නා දැනටමත් ගිණුම ‘ෆලෝ’ නොකරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අනුගාමිකයින් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවේ.

Continue Reading

විශේෂාංග

පවුල් ජීවිත අවුල් කරන අසීමාන්තික මව-පුතු බැඳීම

Published

on

By

බොහෝ යුවතියන් මෙන් රොෂෙල් ද යුග දිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ය. නමුත්, විවාහ වී වසරකුත් ගත වීමට ප්‍රථම ඇය මැවූ සිහින බිඳ වැටුණේ ඇය ද නොසිතු අයුරිනි.

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන රොෂෙල් දික්කසාද නඩුවක පැමිණිලිකාර පාර්ශවය වී අවසන් ය. තම රැකියාවෙන් උපයා ගන්නා මුදල් නීති කටයුතු සඳහා වැය කිරීමට දැන් ඇයට සිදුවී ඇත.

රොෂෙල් යනු, මෙම ලිපියේ කතා නායිකාවගේ සත්‍ය නාමය වෙනුවට ඇයගේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි.

ඉකුත් මාසයේ මෙරට මාධ්‍ය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2020 වසරේ සිට “ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්” දක්නට ලැබෙන බව ය.

රොෂෙල් විශ්වාස කරන පරිදි තම විවාහය දෙදරා යාමට බලපෑ ප්‍රධානතම සාධකය, තම ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව අතර පැවති “පමණ ඉක්මවූ බැඳීම” ය. ඔවුන් වෙන්ව වෙනත් නිවසක වාසය කළ ද එය ඔවුන්ගේ පවුල් ජීවිතයට දිගින් දිගට ම බලපෑම් එල්ල කළ බව ඇගේ මතය යි.

අවස්ථා ගණනාවකදී ම රොෂෙල් තම විවාහය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරුවා ය. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වූ තැන ඇයට සිදු වූයේ නීතියේ පිහිට පැතීම ය.

දරුවන් නොලැබීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ

    සමාජ විද්‍යාත්මකව බැලූ කල, සමාජ ව්‍යුහයේ කුඩා ම සංවිධානාත්මක ඒකකය පවුල ය. පවුල කුඩා ම සමාජ ඒකකය වුවත් එයට සමාජය තුළ හිමි වන්නේ, ඉතා වැදගත් ස්ථානයක් යන්න සමාජ විද්‍යඥයින්ගේ මතයයි. ඊට හේතුව පුද්ගලයින්ගේ කායික, මානසික, සමාජයීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට පවුල දායක වන බැවින් යැයි ඔවුහු පෙන්වා දෙති.

    “ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස,” එක්තරා සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය.

    රොෂෙල් පමණක් නොව, එවැනි ආකාරයේ අර්බුදවලට මැදි වූ තරුණ කතුන් බොහෝ දෙනෙකුගේ ගැටලු සමාජ මාධ්‍ය පිරික්සීමේදී සොයා ගැනීම අපහසු නොවේ.

    නයෝමි [සැබෑ නම නොවේ] ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තම පෙම්වතා සහ ඔහුගේ මව අතර ඇති අසීමාන්තික බැඳීම නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින තරුණියකි.

    මෙරට ඇතැම් මාධ්‍ය විසින් ද “අම්මා එක, බිරිඳ දෙක,” යන සංකල්පය උත්කර්ෂයට නංවන අයුරු පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.

    ඒ අනුව, “පවුල් සංස්ථා බිඳ දමන සමාජයේ ඔඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇති” මෙම මව-පුතු බැඳීම වටා ඇති ප්‍රශ්න සඳහා සාධනීය පිළිතුරක් සෙවීමේ අභිප්‍රායෙන් බීබීසී සිංහල, උපදේශන මනෝ විද්‍යාඥවරියක වන ආචාර්ය භාග්‍යා අබේසිංහ සමග සහ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සමග සංවාදයක යෙදුනෙමු.

    මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි.

    ‘මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි…’

    මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධ කථිකාචාර්යවරියක ද වන පෞද්ගලික රෝහල් රැසක උපදේශන මනෝ විද්‍යාඥවරියක ලෙස ද සායනික කටයුතුවලට සම්බන්ධ වන ආචාර්ය භාග්‍යා අබේසිංහ මෙම සංවාදයට මුල පිරුවේ මෙලෙසිනි.

    “පුතෙක් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ, ඒ විවාහ ජීවිතය ඇතුළේ එයාගේ සර්කල් එකේ ඉන්න පුළුවන් තමන්ගේ බිරිඳ පමණයි. ඒ කියන්නේ, මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ.”

    ඇය පැහැදිලි කළේ, දෙවම්පියන් ඇතුළත් විය යුත්තේ, දෙවන පිරිසට බව ය. ඉන්, මව හෝ පියා නොසලකා හැරීමක් අදහස් නොකරන බව ඇය පෙන්වා දුන්නා ය.

    විවාහ ජීවිතයකට ඇතුළු වූ පසු තම සහකරු හෝ සහකාරිය සමග යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගෙනයාමේ වගකීම දෙපාර්ශවයට ම පැවරෙන බව ඇය අවධාරණය කළා ය.

    “අන්න එතැනදී පුතාලා දැන ගන්න ඕනේ, අම්මා කියන්නේ අම්මට, බිරිඳ කියන්නේ බිරිඳට. බිරිඳට අම්මා වෙන්නත් බැහැ, අම්මාට බිරිඳ වෙන්නත් බැහැ. මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් සහ බිරිඳ ඉන්න ඕනේ තැන බිරිඳට දීලා, අම්මා ඉන්න ඕනේ තැන අම්මාට දුන්නා නම්, ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ,” ඇය පැවසුවා ය.

    මවත් පිරිමි දරුවත් අතර පවතින බැඳීම එම දරුවා වැඩිහිටි වියට පත්වීමත් සමග යම් ආකාරයකින් වෙනස් විය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ ය.

    ‘මගේ පුතා, මගේ පුතා, මගේ පුතා…’

    ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ, සායනවලදී තමන් ලද අත්දැකීම් අනුව, බිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව ය.

    “බිරිඳ කෙතරම් සමබරව හිටියත්, අම්මලා ඉන්නවා මගේ පුතා, මගේ පුතා, මගේ පුතා කියලා කියාගෙන. ඇත්ත, පුතා තමයි, නමුත්, පුතා කසාද බැන්දට පස්සේ, පුතාගේ පවුල් ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන විදිහට ම කටයුතු කරන අම්මලත් ඉන්නවා,” ඇය පැවසුවා ය.

    විවාහ වන වයසේ පුතෙකු සිටින මවක යනු, බොහෝ විට මැදිවියේ පසුවන කාන්තාවක බව ඇය සඳහන් කළා ය. එවැනි කාන්තාවන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ වෙනස් කිරීම අපහසු බව ඇය පෙන්වා දුන්නා ය.

    එවැනි අවස්ථාවක, තම මවගේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනුව පුරුෂයෙකු කටයුතු කළ යුතු බව ඇය පැහැදිලි කළා ය.

    ඇය අවධාරණය කළේ, විවාහ දිවියට එළඹීමෙන් පසු හෝ දරුවන් ලැබුණු පසු එවැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනු ඇතැයි සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය.

    තම විවාහයට ප්‍රථම එවැනි අත්දැකීම් රොෂෙල් ලබා තිබුණ ද ඒවා වර්තමානයේ තමන් සිටින තත්ත්වය දක්වා උග්‍රවනු ඇතැයි ඇය නොසිතුවා ය.

    ආචාර්ය භාග්‍යා අබේසිංහ සඳහන් කළේ, තම සායනවලදී එලෙස පීඩාවට පත් වුණු කාන්තාවන් සැලකිය යුතු ගණනක් තමන්ට හමු වී ඇති බව ය.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය

    ‘ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ…’

    දෙමව්පියන් කෙරෙහි ඇති ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව ආචාර්යවරියගේ මතය යි. නමුත් අනවශ්‍ය ලෙස මව, පියා, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් තම පවුල තුළට එකතු කර ගැනීම එතරම් සුබදායී නොවන බව ඇය පැහැදිලි කළා ය.

    “ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ. පුතා අම්මගේ හැටිත් දන්නවා බිරිඳගේ හැටිත් දන්නවා. හැබැයි, ‘නෑ… ඕක දෙන්න එකට ඉන්නකොට හරි යාවි,’ කියලා දෙන්නත් එක්ක එක ගෙදරක ඉන්නවා,” ඇය තම අත්දැකීම් ඇසුරින් සඳහන් කළා ය.

    “ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නය, දැන් අද හවස ඇවිළුණොත්, අද රෑට රණ්ඩු වෙලා නිදාගෙන, හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උදේ නැගිට්ටට පස්සේ, අම්මා පුතාට තියෙන ආදරේ හින්දා, අම්මා එතැනින් දවස පටන් ගන්න පුළුවන්. ‘ඊයේ රෑ මගේ එකාට කන්නත් නැහැ, ඊයේ රෑ දෙන්න හොඳට ම රණ්ඩු වුණා,’ මෙහෙමයි කියලා. ඔන්න එතකොට අම්මලාගේ ස්වභාවය එළියට එන්න පුළුවන්.”

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය.

    “අපි දකිනවා සමහර වෙලාවට මේ පවුල් ජීවිතවල ගැටලු ඇති වෙනවා විවාහයෙන් පස්සේ. ඒ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවාට වඩා, අර මවගේ ආදරය නිරන්තරයෙන් ලබා ගන්න, ඒ නිවසට ම වෙලා ඉන්න, සහ මවගෙන් සුළු වේලාවකට හරි වෙන්ව සිටීමට දක්වන අකමැත්ත නිසා භාර්යාව සමග හොඳ බැඳීමක් ඇති කර ගන්න නොහැකි වෙන අවස්ථා,” මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවලදී යහපත් තීරණ ගැනීමට නොහැකි වන බව ත් මව දරුවන්ගේ කටයුතුවලට “ඇඟිලි ගැසීම නිසා” බිරිඳ මව “සතුරෙකු” ලෙස දකින බව ත් ය.

    “මවත් දුක් වෙනවා තමන්ට දරුවාගේ ආදරය අහිමි වුණා කියලා. එතකොට මවත් තමන් සමග වැඩි කාලයක් ගත කරන්න කියලා දරුවට බල කරනවා. භාර්යාව සමග ගත කරන කාලය ගැන ඊර්ෂියාසහගතව බලන්න පුළුවන්. පවුල් ජීවිතේ කටයුතුවලට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යනවා. ඒ වගේ දේවල් නිසා පවුල් ඇතුළේ අවුල් ඇති වෙන්න පුළුවන්.” ඔහු පැහැදිලි කළේ ය.

    ‘මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ?’

    විවාහ වී දින කිහිපයකට පසු රොෂෙල් අත්විඳි තවත් සිදුවීමක් විය. ඒ, තම සැමියා රාත්‍රී නිදි යහනට පැමිණෙන විට ජංගම දුරකතනය රැගෙන ඒම ත්, එය ත් සමග වැඩි කාලයක් ගත කිරීමත් ය.

    රොෂෙල් පවසන පරිදි තම සැමියා ඔහුගේ මව සමග දුරකතනයෙන් කතා බස් කිරීමට තෝරා ගත්තේ, තමා සමග ගත කිරීමට තිබුණු කාලය යි. එය වරක් දෙවරක් නොව, නොනවත්වා සිදුවීම ඇය කලකිරීමට පත් කරවන්නක් විය.

    මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය මුළුමනින් ම පාහේ බිඳ වැටීම පමණක් නොව, ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද ප්‍රබල ලෙස බලපෑම් එල්ල විය.

    “දෙන්නා තමන්ගේ නිදා ගන්න ඇඳට ගියා ම, දෙන්නත් එක්ක ලිංගිකව හැසිරෙන්න ම ඕනේ නැහැ. තුරුළු වෙලා ඉන්න, කතා කරන්න, ආගිව්මන්ට් එකක් යන්න, අදහස් හුවමාරුවක් ක‍රන්න, මොනවා හරි දෙයක් ප්ලෑන් කරන්න පුළුවන්. මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ,” ආචාර්ය භාග්‍යා අබේසිංහ පැහැදිලි කළා ය.

    ඇය පෙන්වා දුන්නේ, යුවළක් වෙන්ව ජීවත් වීමේදී තම දෙවම්පියන් පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එය නිදි යහනට පැමිණීමට ප්‍රථම සිදු කිරීමට හැකියාවක් පවතින බව ත් ය.

    “රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා අම්මා එක්ක කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඊට කලින් පුතා දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. දුව දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. අම්මා ගැන හොයලා බලන්න. හදිසි කෝල් එකකදී ඇරෙන්න.ඇඳට ආවට පස්සේ ම, මම නම් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියන එක තමයි වඩා ත් ම සුදුසු,” ඇය පෙන්වා දුන්නා ය.

    ‘අම්මා එක්ක කතා කළ ත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා… එතකොට වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා…’

    උපදේශන මනෝ විද්‍යාඥවරිය සඳහන් කළේ, බිරින්දෑවරුන් විසින් ගැටලු ඇති කරනු ලබන අවස්ථා ද තම වෘත්තීය ජීවිතයේදී හමුවී ඇති බව ය.

    එවැනි අවස්ථාවලදී වැඩි වශයෙන් ස්වාමි පුරුෂයා පීඩාවට පත්වන බව ඇය පෙන්වා දුන්නා ය.

    “තවත් සමහර අවස්ථා තියෙනවා. ඕකේ ම අනිත් පැත්ත. අම්මගේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම අම්මා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. අම්මා ඉතින් පුතාට කතා නොකර ඉන්නේ නැහැනේ. කතා කරලා කොහොම ද කින්ද මන්ද කියලා හොයලා බලනවනේ. හැබැයි ඒක දරා ගන්න බැරි බිරින්දෑවරු ඉන්නවා,” යැයි ඇය සඳහන් කළේ තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි.

    “එතකොට ඒ වෙලාවට පුතා අසරණ වෙනවා, අම්මා එක්ක කතා කරන්නත් ඕනේ, අම්මව බලන්නත් ඕනේ, හැබැයි අම්මා එක්ක කතා කළත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා. මට එහෙම බිරින්දෑවරුත් මුණගැහිලා තියෙනවා. එතකොට වැඩිපුර ම පීඩාවට පත් වෙලා තියෙන්නේ, වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා,” ඇය තව දුරටත් පැවසුවා ය.

    ඇය සඳහන් කළේ, අවස්ථා තුනකදී මෙවැනි ගැටලු ඇති විය හැකි බව ය.

    ඉන් එකක් ලෙස ඇය පෙන්වා දුන්නේ, මව සහ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කළමනාකරණය කර ගැනීමට ඇතැම් ස්වාමි පුරුෂයින් අපොහොසත් වීම ය.

    අනෙක් අවස්ථාව, මවක තම ලේලියට වෙනස්කම් කිරීම ය.

    “අම්මා පුතාට ආදරෙයි, හැබැයි ලේලිව ගණන් ගන්නේ නැහැ. ලේලිට ආදරේ නැහැ. පුතාට මාළු කෑලි දෙකක් බෙදනවා. ලේලිට මාළු හොදි ටිකක් විතරක් බෙදනවා. එහෙම නැත්නම්, කසාද බැඳපු පුතාට, සුදු පුතා, චූටි පුතා, මගේ පුතා කියලා කතා කරනවා. හැබයි බිරිඳට කතා කරන්නේ නම කියලා.”

    තුන්වන අවස්ථාව, “බිරින්දෑවරු හිතාගෙන ඉන්නවා, කසාද බැන්දට පස්සේ අම්මා ගැන ඔච්චර හොයන්නේ මොකට ද? මෙයා විතර ද ළමයෙකුට ඉන්නේ? මෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා,” ලෙස ඇය පැහැදිලි කළා ය.

    ඇතැම් බිරින්දෑවරුන්ගේ එවැනි හැසිරීම් සඳහා ඔවුන්ගේ පෙර අත්දැකීම් බලපෑ හැකි බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නා ය.

    කුඩා කල සිට ම අවධානය යොමු කළ යුතු යි

    මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට දෙවම්පියන්ට දරුවන් කුඩා කල සිට ම පියවර ගත හැකි බව ආචාර්යවරියගේ මෙන් ම මනෝවෛද්‍යවරයාගේ ද අදහස විය.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම වඩා ත් නිරෝගී විය යුතු බව ය. එම බැඳීමේ පවතින ගුණාංග අනුව ඉන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය තීරණය වන බව ඔහු පැවසීය.

    ඔහු පෙන්වා දුන්නේ, “කුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ. නැත්නම් දරුවන් වැඩිහිටි වුණා ම බැඳීම් ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්,” යනුවෙනි.

    එසේ නොවන අවස්ථාවලදී දරුවෙකු වැඩිහිටි බවට පත් වූ පසු ඔහු හෝ අයට සබඳතා පිළිබඳ ගැටලු පැන නගින බව මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

    නමුත් මවක සහ පිරිමි දරුවෙකු අතර පවතින බැඳීම එම දරුවා නව යොවුන් වියට පත් වීමේදී යම් ආකාරයක වෙනස් වීමකට භාජනය විය යුතු බව ඔහු පැවසීය.

    “මවත් පිරිමි දරුවත් අතර බැඳීම ළමා කාලයේදී වැදගත් වුණාට තරුණ කාලය වන විට ඒ බැඳීම්වල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට, පිරිමි දරුවා නව යොවුන් වයසට එනකොට ඔහු වඩා ත් ස්වාධීන වෙන්න උත්සහ ගන්නවා. ඒ උත්සහ ගන්නේ, සමාජයට ගැළපෙන සහ අත්‍යවශ්‍ය වන පෞරුෂත්ව ලක්ෂණ ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න උත්සහ ගන්නවා, අලුත් යහළුවෝ හොයා ගෙන යනවා, අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා, අවදානම් ගන්න පෙළඹෙනවා. මෙන්න මේ වගේ දේවල්වලදී ඔහු ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නවා,” ඔහු සඳහන් කළේ ය.

    ආචාර්ය භාග්‍යා අබේසිංහ ද මනෝවිද්‍යාඥවරයෙකු වන එරික් එරික්සන්ගේ ළමා සංවර්ධන අවධි ඇසුරින් ඒ පිළිබඳව පැහැදිලි කළා ය.

    “අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යහපත් දෙමව්පියකරණය. අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කරන්න ගිහිල්ලා, දරුවාගේ පෞරුෂයට හානි නොකර ඉන්න එකේ වගකීම තියෙන්නේ අම්මාට තාත්තාට. ඒ වගකීම දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ම තියෙනවා. දරුවා එක එක අවධි පහු කරගෙන යනකොට, ඒ දරුවාට අවශ්‍ය කරන රැකවරණය, සහයෝගය අවබෝධයෙන් යුතුව දෙන්න ඕනේ.”

    ඇය පෙන්වා දුන්නේ, දරුවන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් පසුකර යාමේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ය.

    “එතැනදී මුල් ළමා විය සංවර්ධනය කියන කාල සීමාව, නව යොවුන් අවධිය කියන කාල සීමාව විශේෂයෙන් ම වැදගත් වෙනවා. මොක ද ඒ අවධීන්වලදී නිසි දැනුවත්භාවය, ඒ සහයෝගය නැති වුණාට පස්සේ තමයි අර දරුවාගේ පෞරුෂය නැති වෙලා යන්නේ. නැත්නම් හීන පෞරුෂයක් ගොඩනැගෙන්නේ. එහෙම දරුවෙකුට කසාද බැන්දත් ඊළඟට කරන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ද නෝන ද කියලා හිතා ගන්න බැහැ. හරි වෙලාවට හරි තීරණයක් ගන්න බැහැ,” ඇය පැවසුවා ය.

    රොෂෙල් පැවසූ පරිදි ඇගේ සැමියා ද තීරණ ගැනීමේදී දුර්වලතා පෙන්වා තිබේ. ඔහු පහසුවෙන් අන් අය පවසන දෑ අනුව තම ස්ථාවරය වෙනස් කරන පුද්ගලයකු ලෙස රොෂෙල් හඳුනා ගෙන තිබේ.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ, සමාජයට ගැළපෙන පෞරුෂයක් නොමැති, සමාජ කුසලතා නොමැති පුද්ගලයෙකු විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ගැටලු ඇති විය හැකි බව ය.

    “දරුවෙකුට සහකම්පනය කියන එක දිය යුතු ම යි,” ආචාර්ය භාග්‍යා අබේසිංහ අවධාරණය කළා ය.

    “හේතුව සහකම්පනය නැති මිනිස්සු කසාද බැන්දත්, සහකම්පනය නැති මිනිස්සු රස්සාවක් කළත්, සහකම්පනය නැති මනුස්සයෙක් පවුලක හිටියත්, එක හා සමානව දුක සහ වේදනාවක් තමයි අනෙක් වටේ ඉන්න පාර්ශවයන්ට ලැබෙන්නේ.”

    රොෂෙල් තම ස්වාමි පුරුෂයා සමග එක්ව ගත කළ කෙටි කාලය තුළ ලද “දරුණුතම” අත්දැකීම ඔහු තුළ සහකම්පනය නොමැති වීම ය.

    මේක අපේ සංස්කෘතියේ අවුලක් ද?

    අප “යහපත්” සංස්කෘතියක් ඇති රටක ජීවත් වුව ද එහි ඇති ඇතැම් ලක්ෂණ දරුවන්ගේ පෞරුෂයට හානි කරන බව ආචාර්ය භාග්‍යා අබේසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය.

    ඇය සඳහන් කළේ, දරුවන්ට තීරණ ගැනීමේ අයිතිය පවා නොදෙන දෙමව්පියන් සිටින බව ය.

    “පුතා හොඳට ම දන්නවා, මට ගැළපෙන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ කියලා. හැබැයි වැරදිලාවත් ඒ කෙනාට අම්මා තාත්තා අකමැති වුණොත්, අපේ මේ සංකෘතිය ඇතුළේ තියෙන සමහර කාරණා නිසා, ‘නෑ… නෑ… අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,’ ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා,” ඇය පැහැදිලි කළා ය.

    රොෂෙල්ගේ මතය වූයේ, බටහිර සමාජයේ මෙන් විවාහ වීමට ප්‍රථම, යුවළක් එකට වාසය කිරීම (living together) වැනි සංකල්ප සඳහා මෙරට තුළ ඇති තහංචිය කෙනෙකුට වඩා ත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට එක් අතකට අහිතකර බලපාන බව ය.

    විසඳුමක්?

    ප්‍රයෝගික ගැටලු නොමැති නම්, විවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම සුදුසු යැයි යෝජනා කරන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ ආචාර්යවරියගේ ද එම අදහසට එකඟ වෙමිනි.

    යම් හෙයකින් විවාහය සම්බන්ධ ගැටලුවක් පවුල තුළ විසඳා ගැනීමට අපොහොසත් වේ නම්, ඒ සඳහා වෘත්තීයමය පළ පුරුද්දක් ඇති මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත්, මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ, දෙවම්පියන් සමග පවතින අසීමිත බැඳීම සම්බන්ධ ගැටලු “විවාහයට පෙර ම, ඇති වීමේ ලකුණු තියෙනවා නම්, විවාහය වෙනකම් සිටීමට අවශ්‍ය නැහැ, විවාහට පෙර ම පූර්ව විවාහ උපදේශනය සඳහා යොමු වෙන්න පුළුවන්,” යනුවෙනි.

    “ලේලිලාව පීඩනයට පත් ක‍රන අම්මලාගෙන් මං අහන්නේ, ඒ අම්මා කැමති ද ඒ අම්මට දුවෙක් හිටියා නම්, ඒ දුවගේ මහත්තයා ඔය වගේ හැසිරෙනවාට. තමන්ගේ දුවට ඒක වෙනවට කැමති ද? කැමති නෑනේ. එහෙනම් අර දුවටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.

    ඊළඟට මම බිරින්දෑවරුන්ගෙන් අහන්නේ, ඔයාට පුතෙක් හිටියා නම්, ඔයා කැමති ද ඔයාගේ ලේලි ඔය වගේ හැසිරෙනවාට?

    පුතාලගෙන් මං අහන්නේ, අම්මට අම්මගේ තැන දීලා, බිරිඳට බිරිඳගේ තැන දීලා, හරි විදිහට මධ්‍යස්ථව, තීරණ ගන්න පුළුවන් පෞරුෂයක් තියාගෙන හිටියා නම්, මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙනවා නේ ද?

    එහෙම ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට මේක සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා,” ආචාර්යවරිය සඳහන් කළා ය.

    “මම ඒ නිසා පොදුවේ කියන්නේ, අම්මා අම්මා ම යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා තමයි අම්මා කෙනෙක් වෙන්නේ. බිරිඳට ඒක දැනෙන්නේ, බිරිඳ අම්මා කෙනෙක් වෙච්ච දවසට.

    නමුත් මම යෝජනා කරන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක, විවාහ වුණාට පස්සේ, ප්‍රශ්නයක් වෙලා, නොහොඳ වෙලා වෙන් වෙනවාට වඩා, දෙපාර්ශවයේ ම අම්මලා තාත්තාලට සලකන්න, ආදරය කරන්න, බැඳීම් තියාගන්න, නොසලකා හරින්න එපා. හැබැයි, දෙන්න වෙන ම ඉන්න එක තමයි හොඳ ම,” ඇය අවසන් වශයෙන් පැවසුවා ය.

    උපුටා ගැනීම – බීබීසී සිංහල

    Continue Reading

    Trending

    Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved