අද (මාර්තු 04) ලෝක ස්ථූලතා දිනය (World Obesity Day) දිනය යි.
තරබාරුව එසේත් නැතිනම් ස්ථූලභාවය (Obesity) යනු රෝග තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත. ඊට හේතුවී ඇත්තේ තරබාරුව නිසා සිරුරේ බර වැඩීම පමණක් නොව, රෝග රැසක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබීමය.
තරබාරුව
තරබාරුව හෙවත් සිරුරේ අධික ලෙස මේදය තැන්පත්වීම නිසා මතුවන අධික බර මනිනු ලබන්නේ දෙහ ස්කන්ධය (Body Mass Index) අනුවය. සිරුරේ බර කිලෝ ග්‍රෑම්වලින් මැන උස මීටර්වලින් මැන එහි වර්ගය බර බෙදූවිට එන අගය සිරුරේ දේහ ස්කන්ධ අගය ලෙස (BMI) සලකනු ලබයි.
දකුණු ආසියාතික රටවල ජීවත් වන අප වැනි පුද්ගලයන්ගේ BMI අගය පැවැතිය යුත්තේ 23ට අඩුවෙනි. එම අගය 23ට වැඩි නම් අධිබර ලෙසත් (Over Wight) 25ට වැඩිනම් ස්ථූලතාවය (Obesity) ලෙසත් සලකනු ලබයි.
උදරය විශාල වීම
අප වැනි රටවල ජනතාව අතර බහුලවම පවතින අධිබරතාවයක් වන්නේ උදරය විශාල වීමය. (abnormal obesity) මෙය ස්ථූලතාවයක් නොවුණත් ස්ථූලතාවයට වඩා භයානකය. මෙහිදී සිරුර තුළ මේදය අධිකව තැන්පත් වන්නේ උදරය වටා ය. එසේ තැන්පත් වන මේදය අක්මාවට ඍජුවම බලපායි. එවිට අක්මාවේ මේදය අධිකව තැන්පත් වීම (Fatty liver) හෘදයාබාධ ඇතිවීම සහ දියවැඩියාව ඇතිවීම සඳහා මෙම උදරය වටා මේදය තැන්පත්වීම ඍජුවම බලපාන බව හඳුනාගෙන ඇත.
තරබාරුව නිසා ඇතිවන රෝග
තරබාරුව පිළිකා වර්ග 13ක් ඇති වීමට බලපාන බව හඳුනාගෙන ඇත. පියයුරු පිළිකා, අක්මා පිළිකා, ගර්භාෂ පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, බඩවැල් පිළිකා ආදී පිළිකා ඇතිවීම සඳහා තරබාරුව ඍජුවම බලපානු ලබයි.
තරබාරුව නිසා ඇතිවන අනෙකුත් සංකූලතා අතර ප්‍රධාන තැනක් ගන්නේ දියවැඩියාවයි. එහිදී දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සඳහා බලපායි. ඉන්පසු සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම සිදුවේ.
කොලෙස්ටරෝල් අධික වීම නිසා රුධිරවාහිනී ආශ්‍රිත රෝග හටගනී. එනම් හෘදයාබාධ, අංශභාගය, දෙපා ආශ්‍රිත රෝග ආදිය හටගනී. අධික රුධිර පීඩනය හටගැනීම නිසා වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වේ.
මත්පැන්වලින් තොරව ඇතිවන අක්මාවේ මේදය තැන්පත්වීම (Nonalcoholic Fatty liver disease) සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ තරබාරුවය. මෙය වර්තමානයේ අප රට තුළ වසංගතයක් හා සමානව මතු වන්නට පටන්ගෙන ඇත. එහි භයානකකම වන්නේ මෙම ෆැටී ලිවර් තත්ත්වය නිසා අක්මාවේ පිළිකා හටගැනීමය.
තරබාරුවෙන් පෙළෙන බොහෝදෙනා අවධානය යොමු නොකරන තවත් රෝගාබාධයක් වන්නේ හෘදයාබාධ නොවන හෘද රෝග හටගැනීමය. (Obesity asso ciatea heart faliya) මෙම රෝග තත්ත්වයේ දී ඇති වන අපහසුතා වන්නේ ඇවිදිනවිට අධික වෙහෙසක් හටගැනීම සහ හුස්ම ගැනීමේ අපහසුතා හටගැනීමය.
ඊට අමතරව රාත්‍රියට නිදා ගැනීමේ අපහසුතා හටගන. නිදා ගන්නාවිට ශ්වසන මාර්ග අවහිර වී ගෙරවීමක් (Snoring) හටගනී. එවිට රාත්‍රියට සුවබර නින්දක් ලබාගැනීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් දිවා කාලයේ නිදි කිරා වැටීමය. (Sleep apnea)
මෙහිදී දිවා කාලයේ අලස බව, මන්දෝත්සාහී බව නිසා මානසික පීඩනය හටගනී. තරබාරුව නිසා ලිංගික දුබලතා මතුවේ. ඉකිලි සහ කිහිලි ආශ්‍රිතව සමේ රෝග හටගනී. දණහිස ආශ්‍රිතව ආතරයිටීස් රෝග මතුවේ.
තරබාරුව පාලනය
සිරුරේ අධික ලෙස මේදය තැන්පත්වීම පාලනය සඳහා ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ ආහාර පාලනය කිරීම මගින් තරබාරු වීම වළක්වා ගැනීමය. එය කුඩා කල සිට හුරු කරගත යුතුය. එවිට තරබාරු වීම පාලනය කරගත හැකිය.
දෙවනුව කළ යුත්තේ තරබාරු බවින් පෙළේ නම් එය පාලනය කිරීමය. එනම් බර අඩුකර ගැනීමය. ඒ සඳහා වර්තමානයේ ඖෂධ වර්ග රැසක් ඇත. එම ඖෂධ භාවිතය මගින් සාර්ථකව සිරුරේ පවතින අධික බර අඩු කර ගතහැකිය.
එලෙස ආහාර සහ ඖෂධ මගින් පාලනය කිරීමට අපහසු පුද්ගලයන්ගේ පවතින තරබාරුව සැත්කම් මගින් පාලනය කළ හැකිය. ඒ සඳහා ආමාශය ආශ්‍රිතව සිදු කරන සැත්කම් (Bariatric Surgery) ආදී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත (Metabolic surgery) සැත්කම් සිදු කළ හැකිය.
– කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද –