පුවත්

අතරමැදි ශ්‍රේණිවලට පොරොත්තු ලේඛනයෙන් පිට සිසුන් ගන්න බැහැ

Published

on

පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට අද (02) ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම ප්‍රතිපත්තියට අනුව දෙක, තුන සහ හතර යන ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නොහැකි වන සිසුන්ට අදාළව සකස් කෙරෙන පොරොත්තු ලේඛනය අනුව වන අතර හතෙන් ඉහළ ශ්‍රේණි සඳහා පාදක කර ගැනෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණුය. 

ඕනෑම පාසලක පළමු ශ්‍රේණියෙන් පසු ඉදිරි වර්ෂවල ඇති වන පුරප්පාඩු සඳහා පොරොත්තු ලේඛනයෙන් පිට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව නොලැබේ.

පස්වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොලැබෙන අතර හයවැනි ශ්‍රේණියට ඇතුළත් කෙරෙන්නේ ශිෂ්‍යත්ව ලකුණු මත පමණි.

මින් ඉදිරියට අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙන්නේ එම ප්‍රතිපත්තිය අනුව පමණක් බවත් ඒ අනුව සිසුන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යට පවසා තිබේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබන ඇතැම් සිසුන්ට පවා පාසල් අහිමි වන අවස්ථා තිබෙන බවත් මෙම ක්‍රමය යටතේ දරුවන් එවැනි අසාධාරණයන්ට ලක් නොවන බවත් කී ඇමැතිවරයා ‘සිස්ටම් චේන්ජ්‘ යනු මෙවැනි ක්‍රියාමාර්ග යැයි ද ඔහු සඳහන් කර ඇත. 

මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් විදේශ සේවයේ සිට පැමිණෙන සහ ස්ථාන මාරු ලබන රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් ද ලබා දෙන්නේ ඉල්ලා සිටින පාසල නොව අමාත්‍යාංශය තීරණය කරන පාසල බවත් ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

Trending

Exit mobile version